රෝගය දැනගන්න විටත් වකුගඩු හානී වී අවසන්..

මම නමින් චින්තිකා මිතිලායා. මම ජීවත් වෙන්නේ කටුනායක ප්‍රදේශයේ. මේ අසනීපය පිළිබදව මට දැනගන්නට ලැබෙන්නේ 2014 වසරේදීයි. 2012 වසරේදී මම උසස්පෙල විභාගයට පෙනී සිටි අතර ඉන්පසු 2014 වසරේදී රුහුණු විශ්වවිද්‍යාලයේ හෙද උපාධිය හැදීරීම සදහා තේරී පත්වූනා. විශ්වවිද්‍යාල ප්‍රවේශ්‍ය සදහා අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණ කිරීමේදී තමයි මට මේ අසනීපය පිලිබදව දැනගන්නට ලැබෙන්නේ.

2014 ජනවාරී මාසයේ අවශ්‍ය වෛද්‍යපරීක්ෂණ සදහා මම යොමු උණා. එහිදී මට දැනගන්නට ලැබුණා මට අධික රුධිර පීචනය තිබෙන බව. නමත් ඒ වන තුරුත් විටින් විට දැනුන හිසේ කැක්කුම හැරෙන්නට වෙන රෝග ලක්ෂණයක් දැනුනේ නැහැ. ඒ වන විට මට අවුරුදු 21 පමණ වූ බැවින් මාගේ වයසේ කෙනෙකුට අධික රුධීර පීචනය වැලදීය නොහැකි බව කියූ වෛද්‍යවරුන් මා හට තවත් පරීක්ෂණ කිහිපයක් කිරීමට නියම කරා. ඒ පරීක්ෂණ වල ප්‍රථිඵල වලින් හෙලි වුනේ වකුගඩු සම්බනද වන රෝගී තත්වයක් මට ඇති බවයි. ඒ නිසා හැකි ඉක්මනින් වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන ලෙස මාගේ පවුලේ වෛද්‍යවරයා මා හට නිර්දේශ කරා.

විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු වීමට පෙර මාගේ පරණ වෛදවාර්ථා පරීක්සා කිරීමේදී හෙලි වුණේ මින් වසර 7කට පමණ පෙර සිටත් මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවූ බවට වන වාර්ථාද ඒ අතර වන බවයි. ඒ පිලිබදව වන අපගේ නොදැනුවත් කම හා වෛද්‍යවරුන් විසින් අප දැනුවත් නොකල නිසා ඒ කාලයේදීම මෙම රෝගී තත්වය හදුනාගැනීමට තිබූ අවස්ථාව ඒ වන විටත් මට මගහැරී තිබුණා.

කෙසේ හෝ ඒ වෛද්‍යවාර්ථාද සමග අප ශ්‍රී ජයවර්ධණපුර මහ රෝහලේ වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවුනා. මාගේ වාර්ථා පරික්ෂාකල වෛද්‍යවරයා පැවසූවේ මාගේ වකුගඩු ඒ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයකට හානි වී ඇති බවයි. ඒ නිසා හැකි ඉක්මනින් ජයවර්ධනපුර රෝහලේ වෘක්කවේදී වාට්ටුවට ඇතුලත්වී අවශ්‍ය වන පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර ආරම්භ කල යුතු බව වෛද්‍යවරයා මාහට යෝජනා කරා. ඉන්පසු ඒ වාට්ටුවට මා ඇතුලත් වූ අතර සතියක පමණ කාලයක් රෝහලේ නේවාසිකව සිටිමින් අවශ්‍ය පරීක්ෂණ සිදුක වෛද්‍යවරුන් තීරණය කලේ වකුගඩු බයොප්සි පරීක්ෂනයකට මා යොමු කල යුතු බවයි.

ඉන් සතියකට පමණ පසු මා බයොප්සි පරීක්ෂණය සදහා යොමු කලත් එහිදී වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුනේ ් වන විටත් මාගේ වකුගඩු හැකිලී ඇති බවයි.ඒ නිසා පරීක්ෂණය කිරීම තවත් හානිදායක විය හැකි බව පැවසූ වෛද්‍යවරුන් පරීක්ෂණය සිදු නොකොට ප්‍රථිකාර වෙත යොමු වීමට තීරණය කරා.

පසුව වසරක පමණ කාලයක් මාසිකව සායක සදහා සහභාගී වෙමන් අවශ්‍ය ප්‍රතිකාර කලා. වසරක කාලයකින් පසුව කලින්ට වඩා ඉක්මනින් මාගේ වෛද්‍ය වාර්ථා වල තත්වය හොද නැති වෙන්න පටන්ගත්තා. 2015 වසරේ ජුනි මාසය පමණ වන විට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා සූදානම් වන ලෙස මාගේ වෛද්‍යවරුන් මාගෙ පවුලේ අයට පැවසුවා.ඒ සමගම අපි අවශ්‍යතරන පරීක්ෂණ වෙතු යොමු වුණා. මාගේ මව හා අප පවුලේ ලගම හිතවතියක් මා හට වකුගඩුව ලබා දීමට ඉදිරිපත් වීම මාගේ වාසනාවක් වුනා. සිදුකල මූලික පරීක්ෂණ වලින් හෙලි වුණේ මාගේ මවගේ වකුගඩුවට වඩා අප පවුලේ හිතවතියගේ වකුගඩු මාහට ගැලපෙන බවයි. ඒ නිසාම වකුගඩු බද්ධය වෙනුවෙන් සූදානම් වන කටයුතු හැකි ඉක්මනින් කර ගැනීමට අපි කටයුතු කරා. ඒ අතර 2015 අගෝස්තු මසයේ අවසාන කාලයේදී මාගේ තත්වය නරක අතට හැරෙමින් පැවති බැවින් ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමු වීමට අවශ්‍ය ෆිස්ටියුලාව සෑදීම සදහා වන ශල්‍යකර්මයට මා භාජනය වුනා. ෆිස්ටියුලාව නිර්මාණය කරත් මාගේ ධමනි හා ශිරා ප්‍රමාණයෙන් කුඩා වීම නිසා අවශ්‍ය ප්‍රමාණයට ෆිස්ටියුලාව ක්‍රියාත්මක වුයේ නැහැ. ඒ නිසා ඔක්තෝම්බර් මාසයේ 20 වන දින බෙල්ලට යොදන බටයක් මගින් ඩයලයිසිස් කල යුතු බව වෛද්‍යවරුන් ප්‍රකාශ කලා.

එසේ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබමින් සිටියදී ඔක්තෝම්බර් මස 28 වනදින මාගේ ශල්‍යකර්මය කල හැකි බව වෛද්‍යවරුන් පැවසූ අතර ඒ වෙනුවෙන් සියළු දෙනා සූදානම් වුණා. නමුත් ශල්‍යකර්මයට පෙර නැවතත් ක්‍රොස් මැච්  පරීක්ෂණයක ප්‍රතිඵල මත එදින ශල්‍යකර්මය කල නොහැකි බව වෛද්‍යවරුන් විසින් 27 වනදින මට දැනුම් දුන්නා.එයට හේතු වූයේ එම වාර්ථාව නොගැලපීමයි. ඒ අවස්ථාවේදී එය  මාගේ අවාසනාව යැයි සිතුවත් පසුව වෛද්‍යවරුන් පැවසුවේ එම තත්වය මත ශල්‍යකර්මය සිදුකලානම් වකුලඩු බද්ධය සිදුකල අවස්ථාවේදීම නව වකුගඩුව මාගේ ශරීරයෙන් ප්‍රතික්ෂේප වන බවයි.

ඉන්පසු මාස තුනක් පමණ ඩයයිසිස් ප්‍රතිකාරය මාවිසින් ලබාගත් අතර 2016 වසරේ ජනවාරි 6 වන දින මාගේ ශල්‍යකර්මය සිදුකෙරුණා. එය ඉතාමත් සාර්ථක ලෙස සිදුවූ අතර මේ වන විට මා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටිනවා.

 

 

චින්තිකා මිතිලායා,
කටුනායක.

 

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …