වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබද පරීක්ෂණ මොනවාද?

1340581_634654336968467500-1

වකුගඩු වලින් කෙරෙන මූලික කාර්‍ය වන්නේ මුත්‍රා නිපදවීම හා ඒ මගින් ශරීර අභ්‍යන්තරයේ ඇති වශ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමයි. ඒ නිසා රුධිර පරීක්ෂණ හා මුත්‍රා පරීක්ෂණ මගින් වකගඩු වල ක්‍රියාකාරිත්වය පිලිබදව දැනගැනීමට පුළුවන්.

රුධිර පරීක්ෂණ


  1.  සීරම් ක්‍රියටිනයින් ( Serum Creatinine )  –  ක්‍රියටිනින් නිපදවෙන්නේ ශරීරයේ මාංශ පේශීන් බිදවැටීම වැනි ක්‍රියාවලි වලිනි. එමෙන්ම අප ආහාරයට ගන්නා මස් වලිනුත් රුධිැ ක්‍රියටිනින් මට්ටම කෙරෙහි යම් බලපෑමක් ඇතැයි විශ්වාස කෙරෙනවා. පුද්ගලයෙකුගේ ක්‍රියටිනින් ප්‍රමාණය වයස,ජාතිය හා ශරීර ප්‍රමාණය මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ පරීක්ෂනාගාර වල ඒ පරීක්ෂණාගාර වලට ආවේනික සාමාන්‍ය ක්‍රියටිනින් අගයක් පවතින්න පුළුවන්.සාමාන්‍යයෙන් රුධිර ක්‍රියටිනින් පරීක්ෂණයේ සාමාන්‍ය අගය ලෙස 0.6 – 1.3 ලෙස දක්වන්න පුළුවන්.
  2. GFR අගය  (Glomerular Filtration Rate) – වකුගඩු වලින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය හා වැඩිපුර ජලය කෙතරම් දුරට සාර්ථකව ඉවත් කරන්නේද යන්න පිලිබදව මෙම පරීක්ෂණය මගින් කියැවෙනවා. පුද්ගලයෙකුගේ වයස අනුව මේ අගය වෙනස් වෙන්න පුළුවන්. වයසින් වැඩි වන විට GFR අගය ක්‍රමයෙන් අඩු වෙනවා.
    මෙම අගය 90ට වැඩිනම් එය සාමාන්‍ය තත්වයක් වශයෙන් දක්වන්න පුළුවන්, එය 60ට අඩුනම් වකුගඩු රෝගී තත්වයක් පෙන්නුම් කරන අතර 15 අඩු වන්නේ නම් ඩයලයිසිස් වැනි ප්‍රතිකාරයන් සදහා යොමුවීමේ අවශ්‍යතාවයක්ද පෙන්නුම් කරන බව තමයි සාමාන්‍යයෙන් කියැවෙන්නේ.
  3. BUN ( Blood Urea Nitrogen ) – අපි ගන්නා ආහාරවලින් ලැබෙන ප්‍රෝටීන ශරීරය තුල බිදවැටීමෙන් තමයි නයිට්‍රජන් නිපදවෙන්නේ. මෙහි සාමාන්‍ය අගය 7 -20ත් අතර වශයෙන් සාමාන්‍යයෙන් දක්වන්න පුළුවන්. වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වීමේදී මෙහි අගය වැඩි වෙනවා.

ස්කෑන් පරීක්ෂණ


  1. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ – ශබ්ද තරංග උපයෝගී කරගනිමින් වකුගඩුවේ ඡායාරූපයක් ලබා ගැනීම තමයි මෙමගින් කරන්නේ. මේ පරීක්ෂණය මගින් සාමාන්‍යයෙන් වකුගඩු වල ප්‍රමාණය, පිහිටීම, පිලිබදව වන අසාමාන්‍යතාවයන් මෙන්ම වකුගඩු වල ගල් හෝ පිලිකා තත්වයන් නිසා වන අවහිරවීම් වැනි දේ පිලිබදවත් දැනගත හැකි වනවා.
  2. CT ස්කෑන් පරීක්ණ – මේ පරීක්ෂණයේදී විශේෂිත ඩයි වර්ගයක් යොදාගනිමින් තමයි පරීක්සනය කරන්නේ. මෙමගින් වකුගඩුවල ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවයන් මෙන්ම විවිධ අවහිරවීම් හදුනාගැනීමේ හැකියවත් තියෙනවා.
සාමාන්‍ය වකුගඩුවන ස්කෑන් පරීක්ෂනයක්
සාමාන්‍ය වකුගඩුවන ස්කෑන් පරීක්ෂනයක්

 

බයොප්සි පරීක්ෂණය – වකුගඩු රෝගයක් ඇති වීමට හේතු සේවීම හා ඖෂධ වලට දක්වන ප්‍රතිචාරයන් සොයාගැනීමට, වකුගඩුවලට සිදුවී ඇති හානි ප්‍රමාණය සොයාබැලීමට , වකුගඩු බද්ධ කිරීමකින් පසු බද්ධ කල වකුගඩුවේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවන්නේ නම් ඒ පිළිබදව සොයා බැලීමට සාමාන්‍යයෙන් බයොප්සි පරීක්ෂ සිදුකරනු ලබනවා. මෙහිදී ඉතාමත් සිහින් ඉදිකටුවකින් වකුගඩුවේ කුඩා කොටසක් ගෙන පරීක්ෂණ සදහා යොමු කෙරෙනවා.

බයොප්සි පරීක්ෂණයක් සිදුකරන ආකාරය
බයොප්සි පරීක්ෂණයක් සිදුකරන ආකාරය

මුත්‍රා පරීක්ෂණ


  1. සම්පූර්ණ මුත්‍ර පරික්ෂාව ( Urine Full Report ) – මෙහිදී ලබා ගන්නා මුත්‍රා සාම්පල අන්වීක්ෂයක් හරහා පරීක්ෂා කරන අතර විශේෂිත රසායනිකයන් ආලේපිත තීරු මුත්‍රා සාම්පල පරික්ෂාව සිදු කෙරෙනවා. එමගින් මුත්‍රා වල ප්‍රොටීන්, සැරව සෛල,සීනි,රුධිර සෛල,බැක්ටීරියා සෛල වැනි අසාමාන්‍යතාවයන් පරික්ෂා කෙරෙනවා. එමගින් වකුගඩු රෝගය,මුත්‍රා ආසාදන, වකුගඩු හෝ මුත්‍රාශයේ ගල් හා දියවැඩියාව වැනි තත්වයන් හදුනාගැනීමට හැකියි.
  2. මයික්‍රෝ ඇල්බියුමින් යූරියා ( Microalbuminuria ) – මෙමගින් පරීක්ෂණය කෙරෙන්නේ ඇල්බියුමින් කියන ප්‍රෝටීන් වර්ගය මුත්‍රාවල පවතිනවාද නැද්ද යන්න සෙවීමයි. සාමාන්‍ය මුතා පරීක්ෂනයට වඩා මෙය සංවේදීත්වයෙන් වැඩියි.අල්බියුමින් කුඩු ප්‍රමාණයක් වුවත් මෙමගින් හදුනාගන්න පුළුවන්. දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි වකුගඩු වලට හානිදායක තත්වයන් සහිත පුද්ගලයන් මේ පරීක්ෂනය කර ගැනීමට උනන්දු විය යුතුයි.
  3. Creatinine Clearance – මෙම පරීක්ෂණය සිදුකරන්නේ පැය 24ක කාලය තුල පිටවන සම්පූර්ණ මුත්‍රා ප්‍රමානය රැස් කර ගැනීමෙන්. එමගින් මිනිත්තුවකට වකුගඩු මගින් ඉවත් වන ක්‍රියටිනින් ප්‍රමාණය සොයා බැලීම සිදු කෙරෙනවා.

 

මූලාශ්‍රය – https://www.kidney.org

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …