(මා හට වකුගඩු බද්ධ කිරීමක් සිදුකරලා දැන් අවුරුද්දයි මාස 6ක් පමණ වනවා. වකුගඩු බද්ධ කිරීමෙන් පසු පරිස්සම් වීම ගැන කියද්දි වෛධ්‍යවරුන් වඩාත් අවධාරණයෙක් කියන කරුණක් තමයි පිට තැන් වලින් කෑම කන්න එපා නිවසේදීම සෑදූ ආහාර පමණක් කන්න කියන එක. මුල් කාලයේදී ඒ වචන ඒ විදියටම පිලිපැද්දත් කාලයක් යද්දි අගට පතට සනීයපයක් දැනිල අසනීප තත්වය අමතක වෙද්දි මට වගේම ගොඩ දෙනෙක්ට පරිස්සම් වීමත් මග අරෙනව. ඒ නිසා මට වුන මේ සිදුවීම මේ විදියට කියන්න මට හිතුනේ කිසිම අවස්ථාවක පරිස්සම් වීම අමතක කරන්න හොද නැහැ කියන පනිවඩට ඔබට දෙන්න.)
මගේ තාත්තගේ උපන්දිනය වෙනුවෙන් ගෙදරට ගෙනාපු කේක් කෑල්ලක් දවස් දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාල තිබුණයින් පස්සේ මම කෑල්ලක් කෑවා. ඒ කේක් කෑල්ල කෑවේ උදේ වරුවේ. කොහොමහරි දහවල් කෑම කන වෙලවෙ වෙද්දී අගට හරි නැති ගතියක් දැනුන නිසා මම දහවල් ආහාරය ගත්තේ නැහැ. තව ටික වේලාවකින් වමනය දමන්න ඕන කියල මට හිතුණා. පස්සේ මම වමනෙ දැම්මා. සාමාන්‍යයෙන් එක් වරක් වමනෙ ගියායින් පස්සේ ඇගට සැහැල්ලුවක් දැනෙන නිසා මම බත් කන්නේ නැතුව පාන් කෑල්ලක් කෑව. ටික වේලාවකින් ඒ පාන් කෑල්ලත් වමනය කරන්නට මට සිදුවුණා. ඉන් පස්සේ වමනයට බොන බෙහෙත් පෙත්තක් බිව්වත් ඒකත් වැඩක් වුනේ නැහැ. ටික වේලාවකින් ඒකත් වමනය ගියා.
තත්වය එන්න එන්නම නරක අතට හැරෙන නිසා මම මාගේ වෛද්‍යවරුන්ට දුරකතන ඇමතුමක් දීල කරන්න ඕනේ මොකක්ද කියල විමසුවා. ඔවුන් කීවේ දිගින් දිගටම වමනය යනනිසා එය වකුගඩු වලට හොද නැති බැවින් හා විංජලනය විය හැකි බැවින් සේලයින් ලබාදීම කරන්න ඕන නිසා හැකි ඉක්මනින් රෝහල් ගතවෙන්න කියලයි. නමුත් රෝහලට යාමටතරම්වත් තත්වයක් මම හිටියේ නැහැ.දිගින් දිගටම වමනය හා බඩඑලිය යාම සිදුවුණා. ශාරීරිකව මම යෝග්‍ය තත්වයක නොසිටි නිසා වමනය නවත්වා ගැනීමට සපෝසිව් එකක් ඇතුල් කරන ලෙස වෛද්‍යවරුන් දුරකථනයෙන් මාගේ දෙමව්පියන් හට දන්වා සිටියා. එය ඇතුල් කරායින් පස්සේ තත්වය ටික්ක පාලනය වූ නිසා අප රෝහල් ගතවීම සදහා රොහලට ගමන් කරා.
රෝහලට ඇතුල් වීමේදී මා හට උණ ත්වයක් පැවැති නිසා රෝහල් ගතවූ පසු සේලයින් මාහට ලබා දීමට වෛද්‍යවරුන් තීරණය කරා. ඉන්පසු අවශ්‍යකරන ප්‍රතිජීවක ඖෂධ හා වෙනත් ඖෂධ මා වෙත ලබා දුන්නා. ඒ අවස්ථාවේ ලබාගත් රුධිර සාම්පල වලින්හෙලි වුනේ 1.14ක පමණ සාමාන්‍ය අගයක පැවැති මාගේ ක්‍රියටිනින් ප්‍රමාණය 1.6ක් දක්වා ඉහල ගොස් ඇති බවයි. ඒ නිසා වෛදයවරුන් මා හට පැවසූවේ හැකි තරම් ජලය පානය කරන ලෙසටයි. එලෙසම සේලයින් ලබා දීමයි දිගටම කරන ලෙසට වෛද්‍යවරුන් හෙදියන් වෙත දන්වා සිටියා.
එක් දිනයක් ඇතුලත රෝහලින් පිටත්වයි හැකියැයි සිතුවත් ක්‍රියටිනින් ප්‍රමාණය ඉහළ ගොස් තිබූ නිසා වෛද්‍යවරුන් පැවසුවේ ක්‍රියාටිනින් සාමාන්‍ය අගයක් වනතුරු රෝහලේ රුදී සිටීම සුදුසු බවයි. කෙසේ හෝ මම හැකි පමණ වතුර පානය කලා. පසුදින ලබාගත් ක්‍රියිටින් වාර්ථාවේ ඒ අගය දැක්වුනේ 1.35ක් ලෙසටයි. ඒ නිසා වෛද්‍යවරුන් විසින් මට නිවසට යාමට අවසර ලබාදුන් අතර දින 5කින් පමණ නැවතත් පරීක්ෂන කරන ලෙසත්,ප්‍රතිජීවක ඔෟෂධ එලෙසම ලබාගන්නා ලෙසත් පැවසූවා. මා නිවසට පැමිණ නැවතත් දින 5කින් පරීක්ෂණ කිරීමේ දී ක්‍රියටින්න අගය 1.14ක සාමාන්‍ය අගයකට පත්ව තිබිණා.
ඒ නිසා හිතේ තිබුණ බිය අඩු වුණත් ආයේනම් කඩෙන් කන්නේ නැහැ කියල හිතා ගත්තා.