ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන කාලය තුල ඔබ ආහාරයට ගන්නා ආහාර හා පානය කරන බීම වර්ග මත ඔබගේ ශරීරයේ සුවතාවය හා එම ප්‍රතිකාරයේ කාර්යක්ෂමතාවය රදාපවතිනවා. ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර කාලයේදී ඔබගේ ශරීරය තුල අපද්‍රව්‍ය එක් වීම ආරම්භ වෙනවා. ඒනිසාවෙන් අපද්‍රව්‍ය රැස්වීම පාලනය කිරීම ඔබ ගන්නා ආහාර හා පානයන් මගින් කල යුතු වනවා.
සමහර ආහාර වර්ග වඩාත් වේගයෙන් ශරීරය තුල අපද්‍රව්‍ය නිපදවීම සිදුකරන නිසා ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර කාලයේදී වැඩි අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් අපගේ ශරීරයේ රැස්වීම සිදුවෙනවා. නමුත් ඩයලයිසිස් ප්‍රතිකාරයන් සිදුකිරීමේදී මේ සියළුම අපද්‍රව්‍යන් ඉවත් වීම සිදුනොවෙන්න පුළුවන්. ඒ නිසාම එවැනි ආහාර වලින් වැලකී සිටීම මගින් ඩයලයිසිස් ප්‍රතිකාරය වඩාත් සාර්ථක කරගන්න පුළුවන්.
ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටින්නේ නම් අනිවාර්යෙන්ම ඔබ ලබාගන්නාවූ ආහාර වර්ග හා විශේසයෙන් ලබා ගන්නා ජලය ඇතුළු වෙනත් පානයන්ගේ ප්‍රමාණය පිලිබදව වැඩි අවධානයක් යොමු කල යතු වෙනවා. එලෙසම සෝඩියම්,පොස්පරස් හා පොටෑසයම් යන ලවණයන් අඩුවෙන් අඩංගු වන ආහාර හා පානයන් සදහා යොමු වීම වැදගත්.
පහතින් දැක්වෙන්නේ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටින පුද්ගලයෙකුට ලබා ගැනීමට අනුමත කල හැකි ආහාර කිහිපයකුයි.
- බත් – නිවුඩ්ඩ රහිත තැම්බූ සහල් යෝග්‍ය වේ.
- සහල් පිටි වලින් තැනූ ආහාර – ඉදි ආප්ප, පිට්ටු, ආප්ප
- ධාන්‍ය වර්ග – පරිප්පු,කව්පි ,කඩල,මුංඇට(ව්‍යාංජන ලෙස සකස් කර ස්වලපයක්)
- අල වර්ග – සාමාන්‍යයෙන් සුදුසු නොවේ(පොටෑසියම් ලවණය බහුල නිසා), අල කැබැලි කපා ජලයේ තම්බා ,තැම්බූ ජලය පෙරා ඉවත්කර ඉන්පසු පිස ගැනීම කල හැකියි.
- බිත්තර – සුදු මදය පමණක් සුදුසුය. (කහ මදයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත.කහමද සතියකට 2/3 කට වඩා ගැනීම සුදුසු නොවේ. )
- මාළු – සුදු පාට මාළු යෝග්‍ය වේ. ඉස්සන්,දැල්ලන්,ගල්මාළු,සැමන්,ටින්මාළු අහිතකරය.
- මස් – කුකුළු මස් ආහාරයට ගත හැකි අතර දිනපතා පරිභෝජනය නුසුදුසුයි. (හරක් මස්,ඌරු මස්,එළු මස් නුසුදුසුයි.කුකුළු මස් වල සම හා තෙල් කොටස් ඉවත් කර පිස ගැනීම සුදුසුය.)
- කිරි – එළකිරි වඩාත් සුදුසුය. ( මුදවපු කිරි,චීස්,බටර් නිතර සුදුසු නොවේ.නමුත් කිරි පානය නිසා ඔබගේ ශරීරයේ තරල පමාණය ඉහල යාමට ඉඩ ඇති නිසා භාවිතය සීමා කල යුතු අතර යෝගට් වැනි තරල අඩු ආහාර වඩාත් සුදුසු වේ.)
- පළතුරු – කොළ පාට ඇපල්, පෙයාර්ස්, අන්නාසි,කොමඩු යෝග්‍ය වේ. (පොටෑසියම් බහුල නිසා කෙසෙල්,දොඩම්,නාරං ඉතා අහිතකරයි.) යෝග්‍ය පලතුරු වුවත් දිනකට කැබැල්ලක් හෝ දෙකක්ට සීමා කිරීම සුදුසුයි.
- එළවළු – තද කොළ පාට එළවළු,සෝයා,තක්කාලි නුසුදුසුය. ගෝවා,රාබු,පතෝල,වැටකොළු සුදුසු වේ.
- පලා වර්ග – තද කොළ පාට පලාවර්ග විශේෂයෙන් නිවිති,මුකුණුවැන්න,කන්කුන් ආහාරයට නුසුදුසුය.
බේකරි වලින් ලබාගන්නා ආහාර වලින් වැලකී සිටීම වඩාත් යෝග්‍යයි. විශේෂයෙන් ඔබ දියවැඩියා රෝගියෙකුනම් පිටි වැඩියෙන් අඩංගු ආහාර ගැනීම ඔබට තවත් අහිතකරයි. ඒ නිසා විශේෂයෙන් එවැනි පුද්ගලයන් ධාන්‍ය වැනි ආහාරයන් කෙරෙහි යොමුවීම වඩාත් යෝග්‍යයි.
- අඩු සෝඩියම් ප්‍රමාණයක් ශරීරයට එක්වන ආහාර ලබා ගැනීම .
- අඩු පොටෑසියම් ප්‍රමාණයක් ශරීරයට එක්වන ආහාර ලබා ගැනීම.
- දොඩම්,නාරං,තැඹිලි, කුරුම්බා, කෙසෙල් ,දූරියන් වැනි පලතුරු
-
- තක්කාලි ,අර්තාපල් වැනි එළවළු
- චොකලට්,මයිලෝ,කෝපි වැනි පාන වර්ග
- වියළි පළතුරු හා එළවළු වලින් වැළකී සිටීම.
- අඩු පොස්ෆෙට් ප්‍රමාණයක් ඇති ආහාර ලබා ගැනීම.
- හතු,චොකලට්,හරක් මස් , ඌරු මස් වැනි සත්ත්ව නිශ්පාදන වලින් වැළකී සිටීම.
- අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇති ආහාර ලබා ගැනීම අඩු කිරීම.
- බිත්තර කහ මද,හරක් මස්, ඌරු මස්, එළු මස්,ඉස්සන්,කකුළුවන්,සොසේජස් වලින් වැළකී සිටීම.
මීට අමතරව බිත්තර කහමද,මේදය බහුල මාංශ වර්ග, චීස් ,බටර් වැනි කොලෙස්ටරෝල් බහුල ආහාර වලින්ද වැලකී සිටිය යුතුය.
ආහාර වලට වගේම හෝ ඊටත් වඩා වැඩි අවදානයක් ඔබ ලබාදිය යුත්තේ ඔබ ලබා ගන්නා පානයන් ප්රමාණයටයි. ප්‍රතිකාර අවස්ථාවන් දෙකක් අතර කාලයේදි නියමිත ප්‍රමාණයට වඩා වැඩි තරල ප්‍රමාණයක් ඔබගේ ශරීරයේ එක් වුවහොත් ඉන් ඔබට වඩාත් අහිතකර ප්‍රථිඵල අත්කරදෙනවා. ප්‍රතිකාරවල ඵලදායීතාවය කෙරෙහිත් එමගින් බලපෑමක් ඇතිවෙනවා. එම නිසා වෛද්‍යවරුන් විසින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මත දිනකට නිර්දේශ කරනු ලබන තරල ප්‍රමාණය පමණක් ලබා ගැනීමට විශේෂයෙන් ඔබ මතක තබාගතයුතු වෙනවා.