හෘදයාබාධයෙන් පසු දැනගත් වකුගඩු රෝගය

මට දැන් වයස අවුරුදු 60ක් වෙනවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කරා. ලොකුවට කියන්න තරම් අසනීපයක් මට තිබුනේ නැහැ. නමුත් දවසක් අප පවුලේ උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක මට පපුවේ කැක්කුමක් දැනුනා. මම ඒක ඒ වෙලාවේ එච්චර ගණන් ගත්තේ නැතත්පසුව දැනුනු දැඩි අපහසුතාවය හේතුවෙන් මම මගේ ලොකු පුතාව මේ ගැන දැනුවත් කලා. පසුව පවුලේ හැම දෙනාම එකතු වෙලා මාව රොහල් ගත කරා.

එහිදී කරපු පරීක්ෂණවලින් හෙලි වුනේ මට හෘදයාබාධයක් ඇතිවීමට ගොස් ඇති බවයි. ඒ අතරම මාගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය ඉතාමත් වැඩි බවත් වෛද්‍යවරුන් පැවසුවා. පසුව ඊට ප්‍රතිකාර වශයෙන් වෛද්‍යවරුන් මා හට රුධිර කාන්දුකරණය සිදුකල යුතු බව තීරණය කල අතර ඉන් පසු දින කිහිපයක් විටින් විට මා රුධිර කාන්දුකරණයට ලක් කෙරුනා. ඉන්පසු මා හා මාගේ පවුලේ සාමාජිකයන් ඇමතූ වෛද්‍යවරයා කියා සිටියේ මාගේ වකුගඩු ඉතාමත් දුර්වල වී ඇති බවයි. ඒ හේතුවෙන් හැකි ඉක්මණින් වකුගඩු බද්ධ කිරීමක් සිදුකල යුතු බවත් ඔහු අප හට දැනුම් දුන්නා. හෘද්‍යාබාධායට ප්‍රතිකාර ගැනීමට පැමිණි මට මේ ඇසුණු දෙය විශ්වාස කරගැනීමටවත් නොහැකි වුණා.

කෙසේ හෝ වෛද්‍ය උපදෙස් මත රුධිරකාන්දුකරණය කරමින් වකුගඩු බද්ධ කිරීමක් සිදුකිරීමට මේ වන විට අප සූදානම් වනවා. මාගේ පුතුන් හා ඥාති සොහොයුරියක් මෙන්ම මාගේ අදරණීය බිරිදත් මා හට වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමැත්ත පලකලා. මාගේ පුතා තාමත තරුණ වියේ සිටීම නිසා ඔහුගේ වකුගඩුව ලබා ගැනීමට වඩා මාගේ ඥාති සොයුරියගේ හෝ මාගේ බිරිදගේ වකුගඩුවක් ගෙන බද්ධ කිරීම හොද යැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අපි බිරිදගේ හා මා ඥාති සොයුරියගේ ගැලපීමේ පරීක්ෂණ ආරම්භ කලා. මේ වන විට එම පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර එම පරීක්ෂණ අවසන් වීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකලෙස සිදුකර ගැනීමට අපට හැකි වේයැයි අප සියළු දෙනාම විශ්වාසය පල කර සිටිනවා.

මට ඔබට කියන්නට ඇත්තේ නිරන්තරයෙන් ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔබ වැඩිමහල් වියේ පසුවනවානම් නිරන්තරයෙන් රුධිරයේ සීනි,කොලෙස්ටරෝල්,රුධිර පීඩනය වැනි මූළික පරීක්ෂණ කෙරෙහි අවදානය යොමු කරන්න. ඊට අමතරව කාලයෙන් කාලයට සම්පූර්ණ  රෝග පරික්ෂාවක් (Full Body Checkup) සිදුකිරීම පුරුද්දක් කරගන්න. එවිට මෙවැනි බරපතල රෝගී තතවයන්ගේන බේරී සිටීමට ඔබට අනිවාර්යයෙන්ම හැකිවෙනු ඇති.

 

ඒ.එච්.ගුණවර්ධන
පිළියන්දල

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …