වකුගඩු රෝගීන්ට නව බලාපොරොත්තු ගෙන එමින් මිනිස් වකගුඩු පටක නිපදවීමේ පරීක්ෂණ සාර්ථකයි.

වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර තවත් දියුණු මට්ටමක් සදහා ගෙනයාමේ පර්යේෂණ කටයුතු වල සංදිස්ථානයක් පසුගිය දිනක මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂනාගාරයක් තුලදී සනිටුහන් විය. ඒ මිනිස් වකුගඩු පටක නිපදවීම සදහා සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිඵල අනුව එය තවත් සිහිනයක් පමණක් නොවන බවට වන සාක්ෂි ලැබීමත් සමගයි. මේ පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබුවේ මන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සියූ කිම්බර් හා මහාචාර්ය ඒඩ්‍රියන් වුල්ෆ් යන මහාචාර්යවරුන්ගේ අනුදැනුම මතය.

මිනිසාගේ කලල සෛල වලින් විද්‍යාගාරතුල විශේෂිත රෝපන මාධ්‍යයන් භාවිතා කරමින්  නිපදවාගත් වකුගඩු වල අන්වීක්ෂීය ව්‍යුහයන් වන ගුච්ඡිකාව(Glomeruli) හා ඒ සදහා සම්බන්දක පටක වශයෙන් ක්‍රියා කල හැකි ජල්ලිමය ද්‍රව්‍යයක් එක් කොට එක් කැටියක් වශයෙන් සකස් කොට එය මීයන්ගේ සමට යටින් එන්නත් කිරීමෙන් අනතුරුව මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. එයින් මාස තුනකය පමණ පසු සිදුකල පරීක්ෂාවේදී හෙලිවී ඇත්තේ වකුගඩු වල ව්‍යුහමය හා කෘත්‍යමය ඒකක්ය වන වෘක්කානු (Nephrone)එමගින් වර්ධනය වී ඇති බවයි.

මිනිස් සෛල මගින් නිපදවූ පළමු ක්‍රියාකාරී කුඩා වකුගඩු ඒකකය
මිනිස් සෛල මගින් නිපදවූ පළමු ක්‍රියාකාරී කුඩා වකුගඩු ඒකකය

මෙසේ වර්ධනය වූ වෘක්කානුවේ ව්‍යුහය තුල සාමාන්‍ය මිනිස් වෘක්කානුවක අන්තර්ගත වන බෝමන් ප්‍රාවරය(Bowman’s capsule),විදුර හා අවිදුර සංවලිත නාලිකා (proximal tubules, distal tubules) සහ හෙන්ලේ පුඩුව ද( Loop of Henle) වර්ධනය වී ඇත. එලෙසම මෙම නව ව්‍යුහයට අවශ්‍ය රුධිර සැපයුම ලබාදීම සදහා වන රුධිර කේශනාලිකාද මීයන්තුල නිර්මාණය වී ඇති බවද දැකගැනීමට පර්යේෂකයන්ට හැකිවී ඇත. නමුත් මෙම වෘක්කානුවේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වයේ පවතින බව නිගමනය කිරීමට පර්යේෂකයන්ට නොහැකි වී ඇත්තේ ඒ සියළුම ව්‍යුහයන් සහිතව වර්ධනය වූ වෘක්කානුවට රුධිරය සැපයීම සදහා වන ප්‍රධාන ධමනියක් නොමැතිවීම හේතුවෙනි.එමනිසා මේ වන විට එම පර්යේෂකයන් විසින් මෙම නව වකුගඩු ඒකකය සදහා අවශ්‍ය රුධිරය සැපයීම සදහා ප්‍රධාන ධමනියක් නිර්මාණය කිරීම පිලිබදව සාකච්ඡා කරමින් පවතී.

මෙම නව වකුගඩු ඒකකයේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරීම සදහා පර්යේෂකයන් විසින් ඩෙක්ස්ට්‍රාන් නම් ද්‍රව්‍යය යොදාගත් අතර එම ද්‍රව්‍යය නව වෘක්කානුව මගින් පෙරීමෙන් මුත්‍රා වලට සමාන ද්‍රාවණයක් නිපදවෙන බවද හෙලිවී ඇත. මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රදාන මහාචාර්යවරයෙකු වන කිම්බර් මහතා පවසා ඇත්තේ මෙම නව වකුගඩු සෛල වලට රුධිරය පෙරීමට හා එමගින් මුත්‍රා නිපදවීමට හැකි බව මේ වන විට ඔප්පු කිරීමට තම කණ්ඩායමට හැකිවී ඇති බවයි. නමුත් මේ වන තෙක් එම නව ව්‍යුහයේ කොපමණ ප්‍රතිශතයක් මේ ආකාරයෙන් ක්‍රියාකාරී වන්නේදැයි යන්න පිළිබදව තමව ප්‍රකාශ කල නොහැකි බවද එම මහාචාර්යවරයා පවසා ඇත. ඒ ආකාරයෙන්ම විශේෂයෙන් මෙම මිනිස් සෛල මගින් වර්ධනය වූ ව්‍යුහය මීයන්ගේ රුධිර වාහිනී පද්ධතියත් සමගින් සම්බන්ද වෙමින් මෙම නව ව්‍යුහය වෙත රුධිර සැපයුම ලබාදී ඇති ආකාරය දුටුවිට තමන් ඇතුළු කණ්ඩායම විශ්මයට පත්වූ බවද මහාචාර්යවරයා පවසයි.

මෙම නව සොයාගැනීම වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස වකුගඩු රෝගීන්ගේ අනාගතය සම්බන්දයෙන් වඩාත් යහපත් බලාපොරොත්තු ඇති කරන්නක් වන නමුත් මේ සම්බන්දයෙන් තවත් පර්යේෂන රාශියක් සිදුකරමින් මෙය වැඩිදියුණු කල යුතු බවත් මෙම මහාචාර්යවරුන් දෙදෙනා පවසන අතර සැබැවින්ම මෙම සොයාගැනීම දියුණු කිරීම මගින් වකුගඩු රෝගීන්ගේ ගැටළු වලට ඉදිරියේදී විසදුම් ලැබැනු ඇති බවත් ඔවුන් පවසයි.

 

www.sciencedaily.com හි පලවූ ලිපියක් ඇසුරිණි.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …