වකුගඩු බද්ධ කල පසු ඖෂධ මාත්‍රාව ගැන සැලකිලිමත් විය යුතුයි.

වකුගඩු බද්ධ කිරීමකින් පසුව අපට විශේෂිත ඖෂධ කිහිපයක් ලබාදෙන අතර ඒවා වෛද්‍යවරුන් නිර්දේශ කරන මාත්‍රාවන්ගෙන් නිර්දේශීත වේලාවන් වලදී ලබාගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. නැතිනම් ඖෂධ වල වෙනස් වීම හා ඖෂධ නිසි පරිදි ශරීරයට නොලැබීම මත බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප විය හැකියි.

මා ලැබූ අත්දැකීමක් නිසා මේ ගැන ඔබ සමග බෙදා ගන්නට මා තීරණය කලා.

වකුගඩු බද්ධ කිරීමකින් පසුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා අපට ප්‍රධාන ඖෂධ වශයෙන් ටැක්රොලිමස් (Tacrolimus) හෝ සයික්ලොස්පොරීන් (Cyclosporine) සහ මයිකොෆිනොලේට් මොෆිටිල්(MMF) හෙවත් සෙල්සෙප්ට් ලබාදෙනවා. ඒවායෙන් ටැක්රොලිමස් හා සයික්ලෝස්පෝරින් යන ඖෂධ අප සිරුර තුල ඇති ප්‍රමාණය විටින් විට මැන බලන බව වකුගඩු බද්ධ කල අය දන්නවා. සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීමෙන් දින 10කට පසු මාස 6කට පසු වසරකට පසු හා අවශ්‍යතාවය අනුව වෛද්‍යවරුන් නිර්දේශ කරන කාලසීමාවන් වලදී සිදුකරන රුධිර පරීක්ෂණයක් මගින් එම ඖෂධ අප සිරුර තුල ඇති ප්‍රමාණය මැන බලනවා.

මේ ආකාරයෙන් ඖෂධ ප්‍රමාණය මැන බලන්නේ අප සිරුර තුල අවශ්‍ය ප්‍රමාණයට එම ඖෂධ ප්‍රමාණය ඇතිදැයි දැනගැනීමටයි. එම පරීක්ෂණයේ ප්‍රථිඵල අනුව ඖෂධ ප්‍රමාණය අඩුනම් වෛද්‍යවර්යා විසින් ඔබ ලබාගන්නා ඖෂධ මාත්‍රාව වැඩිකරන අතර ඖෂධ ප්‍රමාණය වැඩිනම් ඖෂධ මාත්‍රාව අඩුකරනු ලබනවා.

ඔබට විටෙක සිතෙන්නට පුළුවන් මේ පරීක්ෂණයේ ඇති වැදගත්කම මොකක්ද කියලා? යම් අවස්ථාවක ඔබගේ ක්‍රියටිනින් අගය නොසිතූ ලෙස වැඩිවූ අත්දැකීමක් ඔබට ඇතිනම් මේ පරීක්ෂණයේ වැදගත්කම ගැන ඔබ නැවතත් ප්‍රශ්ණ කරන්නේ නැහැ. ක්‍රියටිනින් අගය වැඩිවන විට එයට පැහැදිලි හේතුවක් නැතිනම් වෛද්‍යවරන් පළමුව නිර්දේශ කරන්නේ මෙම ඖෂධ ප්‍රමාණය සොයාබැලෙන පරීක්ෂණය නැවත සිදුකරන ලෙසයි. ඒ නිසාම එහි වැදගත්කම ඔබට දැන් දැනෙනවා ඇති. ඖෂධ ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වැඩි වැඩිවූවත් අඩු වූවත් ක්‍රියටිනින් ප්‍රමාණය වැඩිවීම කෙරෙහි ඝෘජු බලපෑමක් ඇතිකරනවා.

පසුගිය සතියේදී මාගේ ක්‍රියිටිනින් ප්‍රමාණය 1.54ක් දක්වා එක්වර වැඩිවූවා. නමුත් ඒ සදහා නිශ්චිත හේතුවක් සොයගැනීමට තිබුනේ නැහැ . එමනිසා වෛද්‍යවරුන් විසින් ඩොප්ලර් ස්කෑන් පරීක්ෂණයක් හා ටැක්රොලිමස් පරීක්ෂණයක් සිදුකරන ලෙස මා හට නියම කරා. එම පරීක්ෂණ දෙකම සාමාන්‍ය වී ඇත්නම් බයොප්සි පරීක්ෂණයක් සිදුකිරීමට වන බවත් මාගේ වෛද්‍යවරයා විසින් මි හට දැනුම් දුන් නිසා මා බියෙන් සිටියේ.

ඩොප්ලර් පරීක්ෂනය සාමාන්‍ය වූ අතර ටැක්රොලිමස් පරීක්ෂණයෙන් කියවුනේ මාගේ සිරුරේ ඇති ටැක්රොලිමස් ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා අඩු බවයි. එම නිසා වෛද්‍යවරයා විසින් මාගේ ඖෂධ මාත්‍රාව වැඩිකර අතර මේ වන විට ක්‍රියටිනින් ප්‍රමාණය අඩුවෙමින් නැවතත් සාමාන්‍ය තත්වයට පත්වෙමින් පවතිනවා.

ඒ නිසාම වෛද්‍යවරුන් එම පරීක්ෂණය යම් අවස්ථාවක ඔබට නිර්දේශ  කරන්නේ නම් අනිවාර්යයෙන්ම එම පරීක්ෂණය සිදුකරගැනීම වැදගත් වනවා. පරීක්ෂණය සිදුකරගැනීම සදහා විශාල මුදලක් වැය වන නිසා ඇතැම්විට මේ පරීක්ෂනය සිදුකරගැනීම සම්බන්දයෙන් දෙවරක් සිතන්නට ඔබ පෙලබෙනු නොඅනුමානයි. නමුත් වැදගත් වන්නේ කෙසේ හෝ මුදල් ප්‍රමාණය සපුරාගෙන පරීක්ෂණය සිදුකරගැනීමයි.  එය ප්‍රමාදවීම ඇතැම් විට ඔබගේ වකුගඩුව ප්‍රතික්ෂේප වීමක් කෙරෙහි අතවැනීමක් විය හැකියි.

වැදගත්
ටැක්රොලිමස් හා සයික්ලොස්පෝරින් යන ඖෂධ අප ලබාගන්නේ උදෑසන 7 හා සවස 7ටයි.  එම නිසා මෙම පරීක්ෂණය සදහා අප රුධිර සාම්පල ලබාදිය යුත්තේ ඖෂධ ලබාගැනීමට මිනිත්තු 5කට පෙරයි. එනම් උදෑසන 6.55ට හෝ සවස 6.55ටයි.

 

මිතිලායා ගමගේ

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …