අමතකවූ මිනිස් හදවතක් සමග ගුවන්ගතවූ ඇමරිකානු ගුවන් යානය

මගී ගුවන් යානයක් තුළ තිබූ මිනිස් හදවතක් ඉන් ඉවතට ගැනීමට අතපසු වීම හේතුවෙන්, පියාසර කරමින් තිබූ එම යානය පැය ගණනකට පසු ආපසු හරවා ඒමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

මෙම සිද්ධිය වී ඇත්තේ, ඇමෙරිකාවේ සියැටල් සිට ඩලාස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකය.

ගුවන් යානය අයත් සවුත්වෙස්ට් ගුවන් සමාගම (Southwest Airlines) පවසන්නේ, අදාළ මිනිස් හදවත කැලිෆෝනියා නගරයේ සිට සියැටල්හි රෝහලක් වෙත භාර දීමට නියමිතව තිබූ බවය.

කෙසේ වෙතත්, ඇසුරුම් කර තිබූ එම හදවත සියැටල් දක්වා පැමිණි ගුවන් යානයෙන් ඉවත් කර ගැනීමට අතපසු වී ඇති අතර අදාළ යානය සියැටල් සිට ඩලාස් දක්වා අඩක් පමණ පියාසර කරන තුරු ඒ පිළිබඳව දැනගන්නට ලැබී නොතිබිණි.

අදාළ හදවත නිශ්චිත රෝගියෙකුගේ ප්‍රයෝජනය සඳහා රැගෙන ගොස් නොමැති අතර අනාගත ප්‍රයෝජනය තකා රැගෙන ගිය එකකි.

මෙම සිද්ධිය පසුගිය ඉරිදා දිනයේ සිදුව ඇතත්, මාධ්‍ය වෙත දැනුම් දුන්නේ, බ්‍රහස්පතින්දා (දෙසැ. 13) දිනයේදීය.

ගුවන් යානයේ නියමුවා අදාළ මිනිස් හදවත පිළිබඳව සහ යානය ආපසු හරවන බවට කළ නිවේදනය ඇසූ තමන් අතිශයින් පුදුමයට පත් වූ බව යානයේ සිටි මගීහු පවසති.

යානය ආපසු පියාසර කරන අතරතුර ඇතැම් මගීන් සිය ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරමින් බද්ධ කිරීමක් සඳහා හදවතක් ගබඩා කර තැබිය හැකි උපරිම කාල සීමාව පිළිබඳව සොයා බලා තිබේ. එම කාල සීමාව සාමාන්‍යයෙන් පැය 4 ත් 6 ත් අතර කාලයකි.

අදාළ ගුවන් යානය ගුවනේ පැය 3 ක පමණ කාලයක් තිබී ඇතැයි වාර්තා වේ.

අදාළ ගුවන් යානයේ ගමන් කළ වෛද්‍යවරයෙකු සියැටල් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ, මෙය “නොසලකා හැරීම් පිළිබඳ කනගාටුදායක සිද්ධියක්,” බවය.

ගුවන් යානය ආපසු සියැටල් වෙත ළඟා වීමෙන් අනතුරුව අදාළ හදවත සිරුරු කොටස් පරිත්‍යාග කිරීමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති අතර නියමිත කාල සීමාවට පෙර එය තමන්ට ලැබී ඇතැයි එම මධ්‍යස්ථානය සියැටල් ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි.

 

(උපුටාගැනීම – www.bbc.com)

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …