වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිගය උග්‍ර අතට, පුද්ගලික ඔසුසල් වලත් ඖෂධ නැහැ

පසුගිය මාස කිහිපය පුරාම දිවයින පුරා සියළුම රෝහල් වල ඖෂධ හිගයක් පැවැති බව අප විසින් දිගින් දිගටම ඔබ වෙත අනාවරණය කල අතර  මේ වන විට එම තත්වය තවත් නරක අතට හැරෙමින් පවතියි.

අද දිනයේදී මෙන්ම පසුගිය මාසයක පමණ කාලයක සිට ජයවර්ධනපුර රෝහල විසින් වකුගඩු බද්ධ කල රෝගීන්ට අවශ්‍යය ඖෂධ ලබා දෙනු ලැබුවේ සතියකට හෝ සති දෙකක කාලයකටය. අද වන විට ඖෂධ තොග රෝහල් වෙත ලැබී ඇතැයි සිතමින් සායන වෙත පැමිණි රෝගීන්ට සිදුවූයේ පසුගිය සතිවල මෙන් ඖෂධ  නොමැතිව රෝහලෙන් පිටවී යාමටය.

Tacrolimus,cyclosporin වැනි ඖෂධ වල සුළු ප්‍රමාණයක් රෝහල සතුව පැවැති අතර පවතින තොග සියළුම රෝගීන්ගේ අවශ්‍යතාවය සදහා ප්‍රමාණවත්  නොවීම හේතුවෙන් අද දිනයේද ඖෂධ ලබා දුන්නේ සතියක හෝ සති දෙකක කාලයකට පමණි. එසේ වූ විට සියළුම රෝගීන් නැවතත් සතියකින් හෝ සති දෙකක කාලයකින් නැවතත් රෝහල් සායනය වෙත පැමිණිය යුතුය.

එසේ සතියක පමණ කාලයකට හෝ ලබාදීමට Micofenolate Mofetil (celcept) නම් ඖෂධය රෝහල් තුල ඇත්තේම නැත. මෙම ඖෂධය දිවයින පුරා හිගව පවතින්නේ දැන් මාස කිහිපයක සිටිය. පුද්ගලික ඔසුසල් වල  celcept මිලදීගැනීමේ හැකියාව පැවතියත් එම ඖෂධයේ 250mgපෙත්තක මිල රු.145ක් පමණවන අතර 500mgක පෙත්තක මිල රු.290ක් පමණ වෙයි.සියළුම රෝගීන් පාහේ මෙම ඖෂධය දිනකට දෙවරක් ලබාගන්නා නිසා දළ වශයෙන් මෙම ඖෂධයට පමණක් ඔවුනට මසකට දැරීමට සිදුවන වියදම රු.10000 – රු.17000ත් අතර පරාසයක වෙයි. සාමාන්‍ය රැකියාවක් කරන රෝගියෙකුට මසකට මෙවැනි මුදල් ප්‍රමාණයක් ඖෂධ සදහා වෙන් කිරීම ඇත්තෙන්ම සිදුකල නොහැකි දෙයකි. නමුත් දැනට මාස කිහිපයක සිට සියළුම රෝගීන් තමන්ට හැකි අයුරින් මෙම ඖෂධ පුද්ගලික ඔසුසැල් වලින් ලබාගන්නට ඇත. ඇතැම් විට තමන්ට මුදල් ඇති ප්‍රමාණයට ඖෂධ ගෙන ඉතිරිය ඖෂධ නොබී සිටියා වන්නටද හැකිය.

අද වන විට මෙම ඖෂධ හිගයේ තත්වය තවත් උග්‍ර වී ඇති බවට අපට ආරංචි වුයේ මින් පෙර කිසිදු අවස්ථාවක වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබාදෙන ඖෂධ කිසිදු හිගයකින් තොරව ලැබුණ මහනුවර මහ රෝහලේද මේ වන විට ඉහල තී ඖෂධ හිග වී ඇති බව දැනගන්නට ලැබීමත් සමගය. වෛද්‍යවරුන් සදහන් කර සිටියේ මේ වන විට මුළු දිවයිනේම රෝහල් වල මෙම ඖෂධ හිගබවත් ඖෂධ තොග රෝහල් වෙත කෙදිනක ලැබේද යන්න පිලිබදව සදහන් කල නොහැකි බවත්ය. ඒ පුවතත් සමග පුද්ගලික ඔසුසැල් වෙත ගොස් ඖෂධ ලබාගැනීමට සූදානම් වූ රෝගීන්ට දැනගන්නට ලැබුනේ එම ඖෂධ ඔවුන් සතුවද නොමැති බවයි. එවිට රෝගීන් තමන්ට අත්‍යවශ්‍යම මෙම ඖෂධ ලබාගන්නේ කෙසේද?

මේ සියළුම ඖෂධ බද්ධ කල අවයවය ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ බැවින් කිසිදු මාත්‍රාවක් මගහැරීමෙන් තොරව ලබාගත යුතුමය. මොනයම් හෝ හේතුවක් නිසා මත්‍රාවක් මගහැරී ගියහොත් එය රෝගියාගේ ජිවිතය කෙරෙහි සෘජු බපෑමක් ඇති කලහැකියි.ඒ හේතුවෙන්ම රජය කෙසේ හෝ හැකි ඉක්මණින් මෙම ගැටළුව විසදා හැකි ඉක්මණින් ඖෂධ තොග රෝහල් වෙත ලැබීමට සැලැස්විය යුතුය. එසේ නොමැති වුවහොත් සිය ගණනක් වන වකුගඩු බද්ධ කල රෝගීන්ගේ ජීවිත අනතුරේ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එම නිසා http://kidneyinfolk.com වශයෙන් අප ඔබෙන්ද ඉල්ලා ස්ටින්නේ මෙම ඖෂධ හිගය නැති කිරීමට සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට බල කරනා ලෙසයි. තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන්,ටුවිටර් ගිනුමෙන් හෝ මේ ගැන රජයට බලකරන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …