අවයව බද්ධ කිරීමකින් පසුව නියුමෝනියාව ඇතිවීමේ හැකියාව වෙනත් පුද්ගලයන්ටවඩා වැඩි බව අප හොදින්ම දන්නා කරුණක්. ඒ අතරිනුත් අවයව බද්ධ කිරීම සිදුකල මුල් අවදියේ එසේ ආසාදන වැලදීමේ හැකියාව තවත් වැඩියි.
බොහෝ සිදුවීම් වලදී අවයව බද්ධ කල පුද්ගලයන්ට(මුල් අවදියේදී) රෝහල් තුලදී වැලදෙන ආසාදන ඇතිවීමේ හැකියාව වැඩියි. (සාමාන්‍යයෙන් අපි එවැනි ආසාදන Hospital acquired infections ලෙසත් හදුන්වනවා.)
ඒ වගේමයි අවයව බද්ධ කිරීමෙන් පසු මාස 6කින් පමණ පසු බද්ධ කල රෝගීන්ට එදිනෙදා ජිවත්වන සමාජයෙන් ආදාසන වැලදීමේ හැකියාවද වැඩි වනවා. මෙසෙ ආදාසන වැඩිවීමට හේතු වන්නේ අවයව බද්ධ කිරීමකින් පසු රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමයි.
ඒ හේතුව නිසා ඇතිවිය හැකි ආසාදන වලින් අද අපි විශේෂ අවදානය යොමු කරන්න හිතුවේ නියුමෝනියාව ගැන.
නියුමෝනියාව කියන්නේ මොකක්ද?
අපේ පෙනහළු වල ඇති කුඩා මළු (ගර්ත – alveoli) වැනි ව්‍යුහයන් ආසාදනය වීම තමයි නියුමෝනියාවේදී සිදුවන්නේ. එම ආසාදනයන් වෛරස්,බැක්ටීරියා හා දිලීර ආසාදනයන් විය හැකියි. එම මළු ආසාදනයවූ විට ඒවා සැරව වලින් හෝ යම්කිසි තරලයකින් පිරී යන අතර එවිට කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වනවා.ඒ සමගම කැස්ස සමග සෙම හා සැරව වැනි ස්‍රාවයන් පිටවීම,උණ,වෙව්ලීම වැනි තත්වයන්ද ඇති වනවා.
නියුමෝනියාව සාමාන්‍ය තත්වයක සිට මරණාසන්න තත්වයන් දක්වා පරාසයක ආසාදනයන් ඇතිකරනවා. කුඩා දරුවන්ට,අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට,විවිධ වෙනත් රෝග සහිත පුද්ගලයන්,හා ප්‍රතිශක්තිය අඩුකරන ලද පුද්ගලයන්ට නියුමෝනියාවෙන් වැඩි වශයෙන් බලපෑම් ඇතිවනවා.
රෝග ලක්ෂණ
ආසාදනය ඇති කරන හේතුකාරකය, වයස,වෙනත් රෝගී තත්වයන් මත ආසාදනයේ තීව්‍රතාවය වෙනස් වනවා.
මෙහි සාමාන්‍ය තත්වයේදී ඇති වන රෝග ලක්ෂන සාමාන්‍යයෙන් උණ තත්වයකදී ඇතිවන රෝග ලක්ෂන වලට සමාන වන නමුත් ඒවා වැඩි කාලයක් පවතිනවා.
- කැස්ස ඇති වල විට පපුව රිදීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය දැනීම.
- මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමේ අපහසුතාවය.
- කැස්ස සමග සෙම පිටවීම
- කැස්ස ඇති විට මහන්සිය දැනීම
- උණ,දහඩිය දැනීම,සහ වෙව්ලීම
- ඔක්කාරය,වමනය හා පාචනය
- හුස්ම ගැනීමේ අපහසුතාවය
කුඩා දරුවන්ගෙන් මෙවැනි රෝග ලක්ෂණ දැකගන්නට බොහෝ අවස්ථාවන් වලදී නොහැකි වන අතර සාමාන්‍ය උණ තත්වයකදී ඇතිවන රෝග ලක්ෂණ ඇති වන්නට පුළුවන්.
ඔබට මහන්සිය,පපුව රිදීම,දීර්ඝ කාලයක් පවතින කැස්ස,දිගටම පවතින අධික උණ වැනි තත්වයන් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුයි.
ඒ වාගේම පහතින් සදහන් කර වැඩි අවදානම් පිරිස් මෙවැනි තත්වයන් කෙරෙහි විශේෂ අවදානයක් ලබා දිය යුතුයි.එයට හේතු වන්නේ එවැනි පුදගලයනට නියුමෝනියාව ආසාදනය වැලදුනහොත් එය මරණීය ආසාදනයක් වීමේ වැඩි අවදානමක් පැවතීමයි.
නියුමෝනියාව වැලදීමේ වැඩි අවදානමක් ඇත්තේ
- වයස අවුරුදු 2 හෝ ඊට වඩා අඩු කුඩා දරුවන්
- වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්
- රෝහල් ගතවී ප්‍රතිකාර ලබන රෝගීන් ( දැඩිසත්කාර ඒකකවල හෝ ස්වසන ආධාරක උපකරණ ආධාරයෙන් සිටින රෝගීන්ට නියුමෝනියා ආසාදන ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇත)
- විවිධාකාරයේ දීර්ඝකාලීන රෝගී තත්වයන් ( ඇදුම,ස්වසන මාර්ගයේ අවහිරතා, හෘද රෝග …….)
- දුම්පානය
- ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් ( HIV/AIDS වැලදී ඇති පුද්ගලයන් )
- අවයව බද්ධ කිරීමක් සිදුකල පුද්ගලයන්
- විකිරණ ප්‍රතිකාරලබා ගන්නා රෝගීන්
ඇතිවිය හැකි සංකූලතාවයන්
මෙම සංකූලතාවයන් ඇතිවීමේද වැඩි අවදානමක් ඇත්තේ ඉහත සදහන් කල කාණ්ඩ වලට අයත් පුද්ගලයන්ටයි.
- බැක්ටීරියා රුධිරයට ඇතුල් වීම – පෙනහණ ආසාදනය කිරීමට හේතුවන බැක්ටීරියාවන් රුධිරයට එක්වීමට අවස්ථාවක් ඇති අතර එසේ වූළුට එම ආසාදනය සිරුරේ වෙනත් අවයව දක්වාද පැතිර යාමේ වැඩි අවදානමක් ඇත. එසේ වෙනත් අවයව ආසාදනය වුවහොත් එම අවයව වලද ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවේ.
- හුස්ම ගැනීම අපහසුවීම – නියුමෝනියා තත්වය බරපතල වූ විට හුස්ම ගැනීම ඉතාමත් අපහසු වන අතර එවිට රෝහල් ගතවී ස්වසන ආධාරක උපකරණ භවිතා කිරීමට සිදුවේ.
- පෙනහළු වටා ඇති ප්ලූරා කුහරයේ ඇති ප්ලූරා තරලය ආසාදනය වීම – මෙම තරලය ආසාදනය වුවහොත් ශල්‍යකර්මයක් මගින් හෝ කුඩා බටයක් ඇතුල් කිරීම මගින් එම තරලය ඉවත් කිරීම කල යුතු වේ.
- පෙනහළු වල ගැටිති නිර්මාණය වීම – මෙසේ වන්නේ පෙනහළු තුල ඇති කුහර සැරව වලින් පිරීම යම හේතුවෙනුයි. මෙවැනි අවස්ථාවන් වලදී ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අතර ඇතැම් අවස්ථවන් වලදී ශල්‍යකර්මයක් සිදුකර ඒවා ඉවත් කිරීම සිදුකරයි.
නියුමෝනියාව වැලදීමෙන් වැලකී සිටින්නේ කොහොමද?
ඉහත සදහන් කල වැඩි අවදානමක් ඇති පිරිස් මේ සම්බන්දයෙන් වැඩි අවදානයක් යොමු කල යුතුයි. ඒ සම්බන්දයෙන් ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර හැකිනම් අවශ්‍ය නික්ෂේපන ලබාගැනීම සිදුකල යුතුයි. එසේම
- පුද්ගලික පිරිසිදුකම ගැන වැඩි අවදානයක් යොමු කිරීම
- ස්වසන රෝග වැලදීමට ඇති ඉඩකඩ අවම කර ගැනීම
- දුම් පානය නතර කිරීම
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම
- ව්‍යායාම කිරීම
- පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම
- හොදනින්දක් ලබාගැනීම වැනි පුරුදු මගින්ද නියුමෝනියා ආසාදනයෙන් ප්‍රවේශම් වීමට හැකියාව ලැබේ.
නියුමෝනියා තත්වයන් හදුනාගන්න් කෙසේද?
වෛද්‍යවරයා ඔබගේ රෝග ඉතිහාසය විමසා බලනු ලබන අතර වෙද නලාව (stethoscope) භාවිතා කරමින් පෙනහළු තුලින් අසාමාන්‍ය ශබ්දයන් ඇසෙවාද නැද්ද යන්න පිලිබදව විමසා බලනු ලැබේ. ඊට අමතරව පහත සදහන් පරීක්ෂණ මගින්ද නියුමෝනියා තත්වයන් හදුනාගත හැකියි.
- රුධිර පරීක්ෂණ
- X – ray පරීක්ෂණ
- ඛේට පරික්ෂාව
- Pulse oximetry පරීක්ෂණය – මෙමගින් රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය මැන බැලෙනු ලැබේ.
එමෙන්ම ඔබට වෙනත් රෝගී තත්වයක් ඇතිනම් හෝ අප පෙර සදහන් කල අවදානම් කාණ්ඩයට අයත් වන්නේ නම් ඉහත සදහන් කල පරීක්ෂණ වලට අමතරව
- CT scan
- Pleural Fluid Culture – මෙහිදී පෙනහළු ආවාරණය කර ඇති ප්ලූරා කුහරයේ ඇති ප්ලූරා තරලය කඩා සිරින්ජයක් හරහා පිටතට ගෙන ඒවා පරික්ෂා කරනු ලැබේ.
මේ ආකාරයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හරහා නිවැරදි ලෙස රෝගය හදුනාගත් විට වෛද්‍යවරුන් විසින් ඔබගේ සෞඛ්‍ය තත්වයට හා රෝගයේ බරපතල කමට ගලපෙන පරිදි ප්‍රතිකාර කිරීම සිදුකරනු ලැබේ. එහිදී රෝගීන් වශයෙන් අප වෛද්‍යවරුන් වෙත උපරිම සහයෝගය ලබාදිය යුතු අතර වෛද්‍යවරුන් නියම කරන ආකාරයට ප්‍රතිකාර ලබා ගැනීම සිදුකල යුතුය. එවිට මාරාන්තික අත්දැකීමකට ගොදුරු නොවී මෙම ආසාදනයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.