රුධිර කාන්දු පෙරණය සදහා යොමුකරන වකුගඩු රෝගීන්ගේ ආරක්ෂාව සහ ක්රියාදාමයේ සාර්ථකත්වය වෙනුවෙන් රෝගියාගේ නුහුරු අතෙහි පැළඳීම සඳහා “රුධිර වාහිනී සුරක්ෂා පටියක් “(Haemodialysis Bracelet for Vascular Access Preservation) බදුල්ල පළාත් මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා හඳුන්වාදී තිබේ.
රෝගියාගේ ගෙලෙන් හෝ ඉකිලි ප්‍රදේශයෙන් ඇතුළු කරනු ලබන තාවකාලික කැතීටරයක් ආධාරයෙන් රුධිර කාන්දුකරණ( Haemodialysis) යන්ත්‍රයට සම්බන්ධ කර ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමට වඩා නුහුරු අතේ ධමනියක් සහ ශිරාවක් ඒකාබද්ධ කර නිර්මාණය කරන ස්ථිර ෆිස්ටියුලාවක් භාවිතා කරමින් රුධිර කාන්දුකරණ යන්ත්‍රයට සම්බන්ධ කර රුධිරය පිරිසිදු කිරීමේ ක්‍රියාදාමය ආරක්ෂිත, වඩාත් කල් පවතින, ආසාදනය වීමට හැකියාව අඩු ක්‍රමවේදයක් බව වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව ෆිස්ටියුලාවක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති නුහුරු අතෙහි මාස හයක කාලයක් තුළ රුධිර පීඩනය මැනීම,ලේ සාම්පල ලබා ගැනීම හෝ කැනියුලා ඇතුළු කිරීම ආදිය සිදුවුවහොත් ශිරා පද්ධතියට හානි වන බැවින් ෆිස්ටියුලාවක් නිර්මාණය කිරීමේ ශල්‍යකර්මය කිරීම අපහසු වන බව වෛද්‍යවරයා පැවසීය.
ඒ අනුව (I AM A KIDNEY PATIENT. PLEASE AVOID THIS ARM)ලෙසින් සදහන් රතු පැහැ “රුධිර වාහිනී සුරක්ෂා පටියක්” හඳුන්වා දුන් බවත් එය පැලඳ සිටින අතෙහි ශිරාවක් සහ ධමනියක් එක්කිරීමෙන් ෆිස්ටියුලාවක් නිර්මාණය කිරීමට ඇති බව වෙනත් රෝගයක් පරීක්ෂා කරන අවස්ථාවක එම වෛද්‍යවරයා හෝ හෙද හෙදියන් හෝ කාර්ය මණ්ඩලයේ අවධානය යොමුකරලීම මෙහි අරමුණ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම නව නිර්මාණයට හේතුව බදුල්ල පළාත් මහ රෝහලේ සායන සදහා සහභාගී වන නිධන්ගත වකුගඩු රෝගයේ හතර සහ පස්වන අවධීන්වල පසුවන එනම් වකුගඩුවල රුධිර පෙරීම 30%ට අඩු රෝගීන් 162 දෙනෙකු අතර සමීක්ෂණයක දී හෙළි වූ පහත කරුණු වීම සුවිශේෂ කරුණකි.
එම සමීක්ෂණයේ දී, 64%ක ප්‍රතිශතයක් රුධිර කාන්දුපෙරණ ඒකකයක් කිසිදිනක දැක නොතිබිණි. රුධිර කාන්දුපෙරණය සඳහා වඩාත් සුදුසු වන්නේ කැතීටරයක් ආධාරයෙන් සිදුකිරීමද නැතහොත් ෆිස්ටියුලාවක් ආධාරකයෙන් සිදුකිරීමද යන්න විමසීමේදී ෆිස්ටියුලාවක් ආධාරයෙන් යැයි යෝග්‍ය පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 28℅ ක් පමණක් වූ බවත් හෙතෙම සඳහන් කළේය. අනාගත ෆිස්ටියුලාවක් සකස් කරගැනීම සදහා නුහුරු අත රැක ගැනීමට වෛද්‍ය අවවාද ලැබ සිටි පිරිස 14%ක් පමණක් බවත්, සුරැකිය යුතු නුහුරු අතෙහි මාස හයක් තුළ කැනියුලාවක් යෙදූ 26%ක පිරිසක් සිටි බවත්, පසුගිය මාස හය තුළ නුහුරු අතෙහි රුධිර සාම්පල ගැනීමට ලක්වී ඇති පිරිස 46%ක් බවත්,85%ක පිරිසකගේ නුහුරු අතෙහි රුධිර පීඩනය මැන තිබෙන බවත් හෙලි වී ඇතැයිද වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
2020 ජනවාරි 29 වන දින සිට මෙම සුරක්ෂා පටය ඌව පළාතේ වකුගඩු රෝගීන් වෙත හඳුන්වා දෙන බවත්, එහිදී රුධිර කාන්දුකරණය කිරීමට බලාපොරොත්තුවන රෝගියකුගේ ෆිස්ටියුලාවක් නිර්මාණය කිරීම සහ ඒ සඳහා නුහුරු අත රැකගැනීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
(ලංකාදීප)