ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් පසුගිය15 වැනිදා කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි.
මෙම නෞකාව පසුගිය 12 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව තිබුණද දේශගුණික බලපෑම් හේතුවෙන් එය දින කිහිපයක් ප්‍රමාද වූ බවත් ඉන්සියුලින් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ ඉතාමත් ඉක්මනින් දිවයින පුරා රෝහල් වෙත බෙදාහරින බවත් වෛද්‍ය වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.
දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ඖෂධය ඇතුළු සමාජයේ බහුලව පවතින බෝ නොවන රෝග රැසකට අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් දිවයින පුරා රෝහල්වල පැවතීමෙන් එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. අධික රුධිර පීඩන රෝගීන්ට ලබා දෙන ‘ලොසාර්ටන්‘ නම් ඖෂධය, හෘදයාබාධ ඇති රෝගීන්ට ළඟ තබාගැනීමට දෙන ‘අයි.එස්.ඩී.එන්.‘ නම් ඖෂධය ඇතුළු තවත් ඖෂධ රැසක් හිඟයක් පවතින බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.
දියවැඩියා රෝගීන්ට දෙනු ලබන ඉන්සියුලින් මිලි ලීටර 10 කුප්පි වල විශාල හිඟයක් රට පුරාම පවතින බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලුතර දිස්ත්‍රික්කයේ පමණක් ඉන්සියුලින් ඖෂධය ලබා ගන්නා රෝගීන් 8,000 කට අධික ප්‍රමාණයක් පානදුර, හොරණ, පිඹුර යන මූලික රෝහල් වල මෙන්ම කළුතර නාගොඩ මහ රෝහලේත් ලියා පදිංචි වී සිටින බව දැනගත හැකිවිය. ඒ සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් කළ විමසීමකදී වෛද්‍ය රත්නායක මහතා මෙසේ පැවසීය.
“සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා ඖෂධ විධිමත්ව නිවෙස් වලටම බෙදා දීම සඳහා අපට තැපැල් දෙපාර්තමේන්තුවත්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් වගේම ග්‍රාමසේවා නිලධාරීන්ගේත් විශාල සහයෝගක් ලැබෙනවා. ඒත් බෝ නොවන රෝග සඳහා අවශ්‍ය සමහර බෙහෙත් වර්ග වල තදබල හිඟයක් පවතින නිසා මේ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටළු මතුවෙලා තියෙනවා.“
“විශේෂයෙන්ම ඉන්සියුලින් කියන ඖෂධය…. ඉන්සියුලින් ගන්නා දියවැඩියා රෝගියකුට වෙනත් පෙති වර්ග භාවිතා කරලා නියම ප්‍රතිඵලය ලබාගන්න බෑ. ඒ නිසා ඉන්සියුලින් ගන්නා රෝගීන්ට එක අත්‍යවශයි“
“අපට, ඒ කියන්නේ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශයට පමණක් මාසයකට ඉන්සියුලින් මිලි ලීටර් 10
කුප්පි 4000 ක් විතර ඕනා…. මේ කියන්නේ කළුතර ප්‍රධාන රෝහල වන නාගොඩ මහ රෝහලේ රෝගීන් ඇතුළත් නැතිවයි.. රටේම තත්ත්වය මීට වඩා විශාල අගයක්.. ඒ නිසා මේ රෝගීන්ට අසරණ වෙන්න නොදී හැකි ඉක්මනින් ඉන්සියුලින් කුප්පි ගෙන්වා ගන්න අපි වෛද්‍ය සැපයුම් අංශයට දැනටමත් දැනුම් දීලා තියෙන්නේ“ යයිද වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
(ලංකාදීප)