කුඩා දරුවෙකුගේ අවයව වෙනත් දෙදෙනෙකුට බද්ධ කල ඉතිහාසයේ ප්‍රථම ශල්‍යකර්මය මහනුවර රෝහලෙන්..

21463405_539891399735893_2514986163258961178_n

මොලය මියගොස් ඇති බවට වෛදයවරුන් විසින් සහතික කල පසු ඔහුගේ හෝ ඇයගේ ඉන්ද්‍රීයන් දන්දීමට පවුලේ පිරිස් ඉදිරිපත් වීමේ යම් ධනාත්මක ප්‍රතිචාරයක් පසුගිය දිනවල පෙරදාට වඩා දැකගන්නට හැකිවිය. නමුත් එම ප්‍රමාණයත් මේ වන විට ප්‍රමාණවත් නොවන නිසා ඉදිරියේදීත් තවත් පිරිස් ඒ ආකාරයෙන් ඉන්ද්‍රීයන් දන්දෙන්නට ඉදිරිපත්වනු දැකීම අපගේ අරමුණ වන නිසා මේ කථාව ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කරා.

ට්‍රැක්ටරයට යටවූ දරුවෙකුගේ වකුගඩු යුවළෙන් තරුණියකට සහ මවකට යළි ජීවය ලැබීම පිලිබදව වන කථාවක් තමයි මේ.ඒ වගේම මහනුවර මහ රෝහලේ සිදුකල තවත් විස්මිත සැත්කමක් පිලිබදවයි මේ කථාව ඔබ වෙත ගෙන එන්නේ. මෙම සැත්කමේ විශේෂ වෙන්නේ කුඩා දරුවෙකුගේ වකුගඩු තව වකුගඩු රෝගියෙකුට බද්ධ කල ප්‍රථම අවස්ථාව මෙය නිසයි.

දෙමව්පිය රැකවරණයේ සිටි කුඩා දරුවෙකු කුමන හෝ හේතුවක් නිසා අනපේක්ෂිත ලෙස මරු තුරුළට යන්නේ නම් එම සංවේගීකර අවස්ථාව මවකට පියෙකුට ජිවිතයේ මුහුණදිමට සිදුවන දරාගත නොහැකි දුක්ඛතම අවස්ථාව කිවහොත් නිවැරදිය. එවන් මොහොතක දරුවා හුස්ම ගනිතත් ජිවත් කළ හැක්කේ ස්ථිරවම දින දෙක තුනක් බව වෛද්‍ය නිගමනය වෙද්දි හිත හදාගෙන තම දරුවාගේ අවයව තවත් පණ අදින ජිවිතයක පණ නළ ගැටගහගන්ට පරිත්‍යාග කළ හැකිනම් එයද එම මවුපියන්ට මෙළොව කළ හැකි ලොකුම පරිත්‍යාගයකි.

පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේ ගෙ මිදුලේ සෙල්ලම් කරමින් සිට තම හත් හැවිරිදි කුඩා පුතු ගෙමිදුලෙහි නවතා තිබු ට්‍රැක්ටර් රථයේ රෝදයට හසු වුයේ අනපේක්ෂිත අයුරිනි. මේ දරුවා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහුගේ ජීවිතය අවධානම් තත්ත්වයකට පත්ව තිබිණි. මෙම දරුවාගේ මොළය මියගොස් ඇති බවත් ඔහුව තව දින දෙකතුනකට වඩා ස්ථිරවම ජිවත්කළ නොහැකි බවත් වෛද්‍යවරුන් පරික්ෂණ මගින් තහවුරු කර තිබිණි. එම දැඩි සංවේගිකර අවස්ථාවේ දරුවාගේ දෙමව්පියන් දැනුවත් කිරිමෙන් පසු තම කුඩා පුතුගේ අවයව තව කෙනෙකුගේ ජිවිතය ගොඩ ගැනිම සදහා පරිත්‍යාග කිරිමට මේ මව සහ පියා කැමැත්ත පළ කර සිටියහ. මෙහි විශේෂත්වය වන්නේ දරුවෙකුගේ අවයවයක් පරිත්‍යාගකිරිමට හිත හදාගත් මෙරට ප්‍රථම මවුපිය යුවළ මේ දෙපොළ විමත් දරුවෙකුගේ අවයවයක් වැඩිහිටියෙකුගේ ශරිරයක් තුළ පණ ගැන්වෙන ප්‍රථම අවස්ථාව මෙය විමත්ය.

පොළොන්නරුවේ මහ රෝහලේ සිදුවු මෙම සංසිද්ධිය වහා මහ නුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිමේ සම්බන්ධිකරණ ඒකකයට දැනුම් දිමත් සමග ක්‍රියාත්මක වු මහනුවර මහ රෝහල අවශ්‍ය කටයුතු සුදානම් කෙරිණි. ඊට අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් සුදානම් වූහ. අනුරාධපුර මහ රෝහලේ අවයව බද්ධ කිරිමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුච්චෙල්වම් මහතා පොළොන්නරුව මහ රෝහලට ගොස් එම රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කෝසල ඩෙප්ත් මහතා ඇතුළු කණ්ඩායමේ සහයෙන් වකුගඩු ඉවත් කිරිමේ ශල්‍ය කර්මය සිදු කළේය. එම වකුගඩු යුවළ (05) දින මහනුවර මහ රෝහලට රැගෙන විත් (06) දින වකුගඩු අකර්මන්‍ය දෙදෙනෙකුට බද්ධ කිරිමේ සැත්කම සාර්ථකව සිදු කෙරිණි. මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිම සහ රුධිරවාහිනි පිළිබදව ශල්‍ය වෛද්‍ය විශේෂඥ චාරිත ප්‍රනාන්දු මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙම සැත්කම සිදු කරනු ලැබිය.

මොළය මිය ගිය අයෙකුගෙන් ලබා ගන්නා වකුගඩුවක් වකුගඩු අකර්මන්‍ය තවත් අයෙකුට බද්ධ කිරිමේ සැත්කම් මෙරට 2004 වසරේ සිට මහනුවර මහ රෝහලේදි සිදු කර ඇතත් කුඩා දරුවෙකුගේ වකුගඩු තව වකුගඩු රෝගියෙකුට බද්ධ කර ඇත්තේ ප්‍රථම වතාවට විම විශේෂත්වයකි. ලෝකයේ බොහෝ රටවල කුඩා ළමුන්ගේ අවයව බද්ධ කරන නමුත් අප රටට එවැනි අත්දැකිම් අල්ප වි ඇත්තේ කුඩා දරුවන්ගේ අවයවයක් ලබා දිමට දෙමවුපියන් එම දැඩි සංවේගිකර අවස්ථාවේ දක්වන අකමැත්ත විමයි.

දරුවෙකුගේ බර කිලෝග්‍රෑම් පහකට වැඩිනම් හෝ එම අවයව ලබාගන්නා අවස්ථාවේ එම ශෛල්‍ය වෛද්‍යවරයාගේ තිරණ අනුව අවයව ලබා ගැනිම තිරණය කරනු ලබයි. කුඩා දරුවෙකුගෙන් ලබා ගන්නා වකුගඩු තවත් වකුගඩු අකර්මන්‍යතාවයට පවත්වු රෝගියෙකුට බද්ධ කිරිමෙන් පසු පළමු මාස දෙක තුන හතර පහු වෙද්දි තිබුණ ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් වර්ධනය වන බව විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා පවසයි. කුඩා දරුවෙකුගේ වකුගඩුවක් බද්ධ කළ හැක්කේ බර කිලෝග්‍රැම් හැත්තැවට අඩු පුද්ගලයෙකුටය.

මෙම හත් හැවිරිදි දරුවාගේ ගැලපිම් හා සංසන්දනය කිරිමේදි මේ වකුගඩු දානය ලබා ගැනිමට අවස්ථාව සැලසි ඇත්තේ මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජිවිතය දැඩි අවදානම් තත්ත්වයක පසුවු පොරොත්තු ලේඛනයේ සිටි කුරුණැගල මහර ප්‍රදේශයේ විසිහත් හැවිරිදි තරුණියකට සහ මහනුවර කඩුගන්නාවේ හැට තුන් හැවිරිදි කාන්තාවකටය.
අප රටේ වසරකට අනපේක්ෂිත සිද්දින්ට මුහුණ පා මොළය මිය යාමෙන් ජිවිතය අහිමි වන දරුවන් අති විශාල ප්‍රමාණයකි. දැඩි බැදිමත් ආදරයත් සංවේදි භාවයත් නිසා ජිවිතය තව දුරටත් ජිවත් කළ නොහැකි බව වෛද්‍යවරු නිගමනය කර තිබුණත් හුස්ම පොද වැටෙන කිරි කැටියාගේ අවයවයක් ලබා දිමට හිත හදා ගැනිම අසිරු කටයුත්තකි. එසේ වුවද දරුවා දින දෙක තුනකින් ස්ථිරවම මරු වැළද ගනි. එවන් අවස්ථාවක අවබෝධයෙන් යුතුව තවත් ජිවිතයක් ගොඩගන්න තම දරුවාගේ අවයවයක් පරිත්‍යාග කිරිමට හිත හදා ගත හැකි නම් ජිවිතයේ කුමන හෝ හේතුවක් මත කෙටි කලකින් මෙලොව හැර යන දරුවෙකුට මෙලොවදි කළ හැකි ලොකුම පුණ්‍ය කර්මයකි.

අනතුරු සිදුවන්නේ අනපේක්ෂිතවය. අප කිසිවෙකු නොසිතන මොහොතක එය අප කරා ළගා වෙයි. මෙසේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පැ පොළොන්නරුවේ හත් හැවිරිදි දරුවා සැතපුම් සිය ගණනක් දුර නන්නාදුනන දෙදෙනෙකුට ජිවිතය දි හමාරය. මෙළොව හැර යන දරුවාගේ අවයව පරිත්‍යාග කිරිමට එම දෙමාපියන් ආයාසයෙන් හෝ හිත හදා ගෙන ඇත. මෙවැන්නක් සිදු කළ හැකි වුයේ ඒ මවු පිය දෙදෙනාගේ කැමැත්ත හිමි වු නිසාය. කොතරම් පහසුකම් තිබුණද වෛද්‍යවරු හිටියද අවයව බලාගෙන ජිවිතය යදින්නවුන් සිටියද අවසරයකින් තොරව කිසිම අවයවයක් ගැනිම සිදු නොවේ.

මේ සියල්ල තේරුම් ගෙන දසක ගණනකට පසු හෝ මෙවන් පරිත්‍යාගයකට හිත හදාගත් ඒ මවු පිය දෙදෙනාට සැමගේ ප්‍රණාමය පුදකළ යුතුය. කුඩා පුතුගේ වකුගඩු තම ශරිරය තුළ හොවාගත් මේ අම්මාවරු දෙදෙනා මහනුවර මහ රෝහලේ සුවෙන් පසුවෙති. ඒ පරිත්‍යාගය කළ පුතුට නිවන් සුවත් ඒ අවයව හොවාගත් අම්මා වරුන් දෙදෙනාට දිර්ඝායුසත් ප්‍රාර්ථනය කරමු.

-ඉන්ද්‍රාණි තෝරදෙනිය-2017.09.09

උපුටා ගැනීම – Helabojun (https://www.facebook.com/helabojunsrilanka/posts/539891486402551)

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …