වකුගඩු බද්ධ කිරීම හා ආහාර පාලනය

maxresdefault

වකුගඩු බද්ධ කිරීමෙන් පසු විශේෂ ආහාර පාලනයක් අවශ්‍යද?
සරලම පිළිතුර ඔව්.
වකුගඩු බද්ධ කිරීමෙන් පසුවත් ඔබ ලබා ගන්නා ආහාර පිලිබදව සැලකිලිමත් විය යුතුමයි. නමුත් බද්ධ කිරීමට පෙර ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගත්තානම් ඒ කාලයේදී ඔබ අනුගමනය කල ආහාර පාලනයට සාපේක්ෂව වකුගඩු බද්ධයෙන් පසු ඇති ආහාර පාලනය අනුගමනය කිරීම පහසුයි.

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාගන්නා ඖෂධ ආහාර කෙරෙහි බලපෑමක් ඇති කරනවාද?
ඔව්, බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම සදහා ලබා දෙන ඖෂධ අනිවාර්යයෙන්ම ඔබ ලබාගන්නා ආහාර කෙරෙහි බලපෑමක් ඇති කරනවා. උදාහරණ වශයෙන්

  • ප්‍රෙඩ්නිසලෝන් (ස්ටෙරොයිඩ්)
  • සයික්ලොස්පෝරින්
  • ටැක්රොලිමස්
  • ඇසතියෝප්‍රින්
  • මයිකොෆිනොලේට්(සෙල්සෙප්ට්) දක්වන්න පුළුවන්.

බර වැඩිවෙනවාද?
සාමාන්‍යයෙන් බද්ධ කිරීමෙන් පසු ආහාර ගැනීමේ හැකියාව ඉහල යනවා. ඒ නිසාම බර වැඩිවීම බොහෝ දෙනෙකුගේ සිදුවෙනවා. එම නිසා අධික කැලරි ප්‍රමාණයක් ඇති අආහාර,අධික සීනි ප්‍රමාණයක් ඇති ආහාර,මේදය වැඩියෙන් අඩංගු ආහාර වැනි දේ ආහාරයට ගැනීම පාලනය කිරීම මගින් ශරීරයේ බර වැඩිවීම පාලනය කරගැනීමට හැකියි.
ඊට අමතරව එළවළු හා පළතුරු,මාළු,මේදය රහිත කිරි වර්ග,සීනි රහිත පාන වර්ග වැනිදේ ආහාරයට එක්කර ගැනීමට පුළුවන්. ඔබගේ ශරීරයේ බර වැඩිවීම පාලනය මගින් හෘද රෝග,අධිරුධිර පීඩනය,දියවැඩියාව වැනි රෝග තත්වයන් ඇතිවීම වළක්වාගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව පෝෂණවේදියෙකු හමුවී ඔබට ගැලපෙන ආහාර ලැයිස්තුවක් සකස් කර ගැනීම හා නිරතුරු ව්‍යයාම වල නිරතවීමත් සිදුකල යුතුයි.

කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් ගැන සැලකිලිමත් විය යුතුද?
ඔව්,රුධිරයේ කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය ඉහළ යාම ප්‍රධාන වශයෙන්ම හෘදය ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්නට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකියි. ඒ නිසාම නියමිත කාල පරතරයකින් යුතුව රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පරික්ෂා කරගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගැනීම පුරුද්දක් කර ගත යුතුයි.

කාබොහයිඩ්‍රේට් වැඩි ආහාර ගැනීම සුදුසුද?
කාබෝහයිඩ්රේට ආහාර  වල සීනි හා පිෂ්ඨය අඩංගු වන බැවින් ඒවා ඔබගේ ශරීරයේ ශක්තිය නිපදවීමේ කාර්යය සදහා යෙදෙවෙනවා. නමුත් ඔබ ස්ටෙරොයිඩමය (ප්‍රෙඩ්නිසොලෝන්) ඖෂධ ලබාගැනීමේදී අතිරික්ත කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයෙන් ශරීරයේ ශක්තිය නිපදවීම සදහා යොදවා ගැනීමේ හැකියාව අඩු වනවා.ඒ නිසාම වැඩි කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයන් ආහාරයට ගැනීම මින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදුවන්නට පුළුවන්.

බද්ධ කිරීමෙන් පසුත් ලුණු අඩු ආහාර ගත යුතුද?
ඇතැම් පුද්ගලයන්ට බද්ධ කිරීමෙන් පසුත් ලුණු අඩුවෙන් ලබාගැනීමට සිදුවනවා. නමුත් ඒ තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනවා. ස්ටෙරොයිඩමය ඖෂධ මගින්  ශරීරයේ යම් තරල ප්‍රමාණයක් රදවා තබාගැනීම සිදුවනවා. ලුණු වැඩිපුර ශරීරයට එක්වීම මගින් එම තත්වය තවත් දරුණු අතට හැරීම සිදුවනවා(තරල රදාවාගැනීමේ හැකියාවක් ලුණු සතුයි). මෙම හේතූන් දෙක නිසා ශරීරයේ රැදෙන තරල ප්‍රමාණය ඉහළ යාමෙන් රුධිර පීඩනය වැඩිවෙන්නට පුළුවන්.

ප්‍රෝටීන් ආහාර ලබාගැනීම ගැටළුවක්ද?
වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඇතිවන තුවාල ඉක්මණින් සුවවීමට වාගේම මාංශ පේෂීන් හා පටක වර්ධනය වීමටත් ප්‍රෝටීන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. බද්ධ කිරීමෙන් පසුව කාලයක් යනතුරු ඔබට ලබාදෙන ස්ටෙරොයිඩ් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් බිද වැටෙන මාංශ පේශීන් නැවත ගෙඩනැගීමට ඔබ වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් ආහාරයට ගැනීම වැදගත් වනවා. නමුත් කාලයත් සමග ඔබට ලබාදෙන ස්ටෙරොයිඩ් ප්‍රමාණය  අඩුවීමත් සමග ලබාගන්නා ප්‍රෝටීන්  ප්‍රමාණය අඩුකිරීමට ඔබට හැකියි.

පොටෑසියම් ආහාර?
ඔබගේ බද්ධ කල වකුගඩුව සාර්ථකව ක්‍රියාත්මක වන විට ඔබට සාමාන්‍ය පරිදි පොටෑසියම් ආහාරයට එක්කරගන්නට පුළුවන්. නමුත් ඇතැම් රෝගීන්ට ලබාදෙන ඖෂධ මගින් රුධිරයේ ඇති පොටෑසියම් ප්‍රාමාණය වැඩි කරන අතර ඇතැම් ඖෂධ මගින් පොටෑසියම් අඩු කරනවා.

කැල්සියම් හා පොස්පරස් ගැටළුවක්ද?
වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාදෙන්නාවූ ඖෂධ නිසා අස්ථි දුර්වලවීම සිදුවන්නට පුළුවන්. ඒ නිසාම වෛද්‍යවරුන් විසින් යම් කාලයකට පසු ඔබගේ අස්ථි ක්ෂයවීම සම්බන්දයෙන් සොයාබලා ඔබ ලබාගත යුතු කැල්සියම් හා පොස්පරස් ප්‍රමාණයන් සම්බන්දයෙන් ඔබව දැනුවත් කරනවා. ඒ අනුව ඔබ ආහාරයට ගන්නා කැල්සියම් හා පොස්පරස් ප්‍රමාණයන් වෙනස් කරගැනමට හැකියි.
දියවැඩියාව තිබෙනවානම්?
බද්ධ කිරීමෙන් පසු ගබාදෙන ස්ටෙරොයිඩ මගින් දියවැඩි තත්වය වැඩි වෙන්නට පුළුවන් ඒ නිසාම ඔබට දියවැඩියාව තිබේනම් ඔබ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය පිළිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …