වකුගඩු බේරාගන්න විජලනයෙන් ප්‍රවේශම් වන්න.

විජලනය ඔබගේ වකුගඩුවලට බලපෑමක් ඇති කරනවාද?
පිළිතුර ඔව්
අපගේ ශරීරයේ මුළු බරෙන් 60% – 70%ත් අතර සමන්විත වන්නේ ජලයෙනුයි. ඒ වාගේම සිරුර තුල සිදුවන ක්‍රියාවලීන් නිවාරදි ආකාරයෙන් සිදුවන්නටත් ජලය අවශ්‍යමයි. විජලනය ඇති වන්නේ විශාල ජල ප්‍රමාණයක් යම්කිසි හේතුවක් මත ශරීරයෙන් ඉවත්වීම හේතුවෙනුයි. මෙසේ ජලය විශාල වශයෙන් ශරීරයෙන් ඉවත්වීමට පාචනය,වමනය,අධික ලෙස දහඩිය දැමීම, පාලනය නොකල දියවැඩියාව හා අධික ලෙස මුත්‍රා පිටවීම වැනි තත්වයන් හේතූන් විය හැකියි.
අප ශරීරයේ ඇති අපද්‍රව්‍යයන් ශරීරයෙන් ඉවත් කීරීමේ ක්‍රියාවලියේදී ජලය විශේෂයෙන් වැදගත් වනවා. ජලය මගින් නිපදවෙන මුත්‍රා හරහා ශරීරයේ අපද්‍රව්‍යයන් ශරීරයෙන් ඉවත් වීම සිදුවනවා. එලෙසම ජලය මගින් අපගේ රුධිර වාහිනී විවෘතව තබන අතර එමගින් කිසිදු අවහිරයකින් තොරව පෝෂපදාර්ථ රැගත් රුධිරයට වකුගඩු ඇතුළු වෙනත් අවයව කරා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔබ යම් හේතුවක් මත විජලන තත්වයට පත්වුවහොත් සිදුවන්නේ මෙම ක්‍රියාවලියට බාධා පැමිණවීමයි. සාමාන්‍ය විජලන තත්වයකදී ඔබට මහන්සිය දැනීම සිදුවන අතර ශරීරයේ ක්‍රියාවලීන් කෙරේත් එමගින් බලපෑමක් ඇති වනවා. බරපතල විජලන තත්වයකදී අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු හානි විය හැකියි. ඒ නිසාම නිරන්තරයෙන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සිදුකල යුතුමයි. විශේෂයෙන් ව්‍යායාම සිදුකරන විට,දෛනික වැඩකටයුතු සිදුකරන විටදී මෙන්ම අධික රශ්මියක් ඇති කාලගුණික තත්වයන් යටතේදීත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කල යුතුමයි. මෙසේ ප්‍රමාණවත්ලෙස ජලය පානය කිරීම වැදගත් වන්නේ සිරුරේ සියළුම ක්‍රියාවලීන් සිදුකිරීමට මෙන්ම විශේෂයෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමටයි. මේ වන විට වෛද්‍යවරුන් සිදුකර ඇති පර්යේෂණ වලින් හෙලිවී ඇති ආකාරයට මද විජලන තත්වයක් හෝ බරපතල විජලන තත්වයක් හෝ වේවා දිගින් දිගටම ඇති වන්නේ නම් එය ස්ථීර වශයෙන්ම වකුගඩු වලට බලපෑම් ඇතිකල හැකියි. එ බලපෑම හරහා වකුගඩු ස්ථීර වශයෙන්ම හානි විය හැකියි.
එලෙසම විජලන තත්වයේ තවත් අතුරු ප්‍රථිඵලයක් වශයෙන් අපද්‍රව්‍යයන් හා අම්ල වර්ග ශරීරය තුල රැස්වීම සිදුවනවා. ඒවා මාංශපේෂීන් වල ඇති මයොග්ලොබින් වැනි ප්‍රෝටීන හා එක්වී වකුගඩු අවහිර කිරීම සිදුවනවා. එලෙසම වකුගඩු ගල් ඇති වීමට මෙන්ම මුත්‍රා ආසාදන ඇතිවීමටත් විජලනය බලපෑම් ඇති කරනවා.
ඒ නිසාම විජලනයෙන් ආරක්ෂා වීමට නිරන්තරයෙන් කටයුතු කල යුතුයි. අප විජලන තත්වයකට පත්ව සිටීද යන්න පිලිබදව දල අදහසක් ලබාගැනීමට අපට මුත්‍රා වල වර්ණය යොදාගත හැකියි. මුත්‍රාවල වර්ණය තද කහ පැහැයෙන් යුතු වන්නේ නම් එමගින් කියවෙන්නේ ඔබ තව තවත් ජලය පානය කල යුතු බවයි. ( ඔබ ප්‍රමාණවත් පරිදිත් ජලය පානය කර ඇති විටත් මුත්‍රා වල පැහැය තද කහවර්ණයෙන් යුතු වන්නේ නම් ඔබ ඔබගේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.එයට හේතුව වන්නේ ඇතැම් විට ඔබ ලබාගන්නා ඖෂධ මගින් මුත්‍රා වල පැහැය වෙනස් කිරීම විය හැකියි. )

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …