ඇස් වල ප්‍රශ්න ඇති වෙන්නේ නම් රෝග ලක්ෂන ඇතිව නෙවෙයි. ඒ නිසා ඇස් ගැන අපි වැඩි අවදානයක් ලබාදිය යුතුයි. අවසන් අදියරයේ වකුගඩු රෝගී තත්වයක් පැවතියත්,අධි රුධිර පීඩනය පැවතියත්,දියවැඩියාව පැවතියත් ඇස් සම්බන්ද ගැටළු ඇති වීමට වැඩි ප්‍රවණාවයක් පවතිනවා. විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇත්නම් ඔබ කාලයෙන් කාලයට අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය යුතුමයි.එසේ නැතිනම් සම්පූර්ණ අන්ධතත්වය දක්වා අක්ෂි රෝග දරුණු වෙන්නට පුළුවන්. ඒ වාගේමයි මුල් අවදියේදී හදුනාගෙන ප්‍රතිකාර සිදුකල හොත් ඇසේ පෙනීම ආරක්ෂා කරගන්නටත් පුළුවන්.
වකුගඩු රෝගී හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන රෝගීන්ට බහුලව ඇතිවන අක්ෂි රෝග මොනවාද?
ඇස්වල වියළි බව,රතු වීම,ඇස් කෙවෙන ගතිය වැනි තත්වයන් බොහෝ විට ඇති වන්නේ ඇස් වල කදුළු නිපදවීම අඩුවූ විට හෝ ඇස් පිල්ලම් ගැසීම අඩුවූ විටයි.
ඊට අමතරව කැල්සියම් හා පොස්පේට් ඇස් තුල තැන්පත් වීමෙන් ඇස් කෙවෙන තත්වයන් ඇති වීම සිදුවනවා. එවැනි අවස්ථාවන් වලදී ස්වච්ඡය, ස්වේත ඝණ ස්ථරය හා අක්ෂි පටලය වැනි ඇසේ කොටස් වලට එමගින් බලපෑම් ඇතිවිය හැකියි.මෙම තත්වයෙන් ආරක්ෂා වීම සදහා රුධිරයේ ඇති කැල්සියම් හා පොස්පේට් ප්‍රමාණයන් පාලනය කිරීම හාවෛද්‍ය උපදෙස් අනුව ගැලපෙන ලිහිසිකාරකක් භාවිතා කල හැකයි.වකුගඩු රෝගී තත්වයක් නොමැතිවූවත් මෙවැනි රෝගී තත්වයන් ඇති විය හැකි බැවින් මෙවැනි තත්වයන් ඇතිනම් වෛද්‍යවරයෙකු මුණගැසීම කල යුතුයි.
ඇතැම් අවස්ථාවල ඇස් නොපෙනීම, කළු ලපයක් ලෙස දිස්වීම, ඇස් නිලංකාර වීම වැනි තත්වයන් ඇති වන්නේ නම් ලගම ඇති රෝහලට හෝ අක්ෂී වෛද්‍යවරයා හමුවිය යුතුයි.
දෘෂ්ටික ස්නායුව මගින් අපගේ මොළය වෙත සංඥා ගෙන යන අතර මොළය මගින් ඒවා අපි දකින රූප බවට පත්කරනු ලබනවා. ඇස් තුල පීඩනය වැඩිවීම මගින් දෘෂ්ටික ස්නායුවට සිදුවන බලපෑම නිසා කාලයත් සමග දෘෂ්ටික ස්නායුව මගින් මොළයට යැවෙන සංඥා අඩුවීම සිදුවන අතර එ් හේතුවෙන් ඇස් පෙනීම සම්පූර්ණයෙන් හෝ අර්ධවශයෙන් අහිමි වන්නට පුළුවන්.
මෙම තත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ අධි රුධිර පීඩනය හා දියවැඩියා තත්වයයි. එලෙසම ඩයලයිසිස් ප්‍රතිකාරයද ඇස අභ්‍යන්තරයේ පීඩන වෙනස්කම් සිදුකිරීමට බලපෑම් ඇති කරනු ලබනවා.
ඇස් ආරක්ෂා කරගන්නේ කොහොමද?
අධි රුධිර පීඩනය මෙන්ම දියවැඩියාවද පාලනය කිරීම ඔබගේ වකුගඩු වලට හිතකර මෙන්ම ඇස් වලටත් හිතකරයි.ඒ සදහා ඔබගේ වෛද්‍යවරයා නිර්දේශ කල පරිදි ඖෂධ ලබාගනීම මෙන්ම ආහාර පාලනය හා ව්‍යයාම කිරීමත් ඉතාමත් වැදගත් වනවා. ඒ වාගේම පුරුද්දක් වශයෙන් නියමිත කාල පරතරයක් ඇතිව රුධිරයේ සීනි ප්‍රමාණය මෙන්ම රුධිර පීඩනය මැන බැලීමත් සිදුකල යුතුයි.
එමෙන්ම දුම්බීම නවතා දැමීමත් ඉතාමත් වැදගත වනවා. දුම්පානය මගින් ඔබගේ ඇස් වල සුද ඇතිවීම හා ග්ලූකෝමා තත්වයන් ඇතිවීමේ අවදානම ඉහල යනවා.
එලෙසම විශේෂයෙන් ඔබ අැස් වලට හෝ වෙනයම් හේතුවක් මත ඖෂධ ලබාගන්නේ නම් ඒ සදහා නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. විශේෂයෙන් ඔබගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුනම් ඔබ ලබාගන්නා ඖෂධ සිරුර තුල ක්‍රියාත්මක වන ආකාරයට වකුගඩු රෝගී තත්වයෙන් සෘජුබලපෑමක් ඇති කරනවා. එ නිසා වකුගඩු රෝගී තත්වයක් ඇති හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා රෝගීන්ට සෑම ඖෂධයකම විශේෂිත මාත්‍රාවක් භාවිතා කල යුතුයි.
කෙසේ වෙතත් වකුගඩු රෝගී වූවත්,ඩයලයිසිස් කලත් නොකලත් අක්ෂී රෝග සෑදේ යැයි අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු වන්නේ නැහැ. එයට හේතු වන්නේ ඔබ පුරුද්දක් වශයෙන් අක්ෂි පරික්ෂාවන් සිදුකරගන්නේ නම් ඇස් වලට සිදුවන ආබාධ අඩු කරගැනීමට හෝ නතර කරගැනීමට හැකියාව පවතිනවා. එමගින් ඇස් පෙනීම නැතිවීම මගහරවා ගැනීමටත් ඕනෑතරම් අවස්ථාවන් පවතිනවා.