සෞඛ්‍යට වින කටින බඩ මඩින්නේ කොහොමද?

දිනකට පුද්ගලයෙක්‌ පියවර දසදහසක්‌ ඇවිදිනවා නම් බඩ අඩු කරගන්න පුළුවන්” යෑයි කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පැවසුවාය.

ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් ‘බඩ අඩු කරන හරි මඟ’ යන තේමාව යටතේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 2018.06.01 වැනිදා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඇය එසේ කියා සිටියාය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය මෙසේද කියා සිටියාය.

කෙනෙකුගේ බඩ ලොකු වීමට හේතුව වන්නේ එහි තිබෙන තෙල් ප්‍රමාණයේ වැඩි වීමයි. සමට යටින් තිබෙන තෙල් තට්‌ටුව කෙනෙකුට ලොකුම තර්ජනයක්‌. වැඩිපුර එකතු වන තෙල් බඩේ ඉන්ද්‍රියන්වල තැන්පත් වෙනවා. එම තෙල් ඉවත් කිරීමට සෑහෙන ප්‍රයත්නයක්‌ දැරිය යුතුයි.

ලංකාවේ වැඩිහිටියන්ගෙන් සියයට විසිහයකගේ පමණ බඩ වැඩි බව සමීක්‌ෂණයකින් හෙළි වෙලා තියෙනවා. එසේම මුළු ජනගහනයෙන් 1/3 කගේ බඩ වැඩි වෙලා තියෙනවා. එම සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ බඩ වැඩිවීම විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්‌. ලංකාවේ පුද්ගලයන්ගේ අධිබර අයට වඩා බඩ වැඩි අය සිටින බවද සමීක්‌ෂණවලින් හෙළිවී තිබෙනවා.

තරබාරුව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අපගේ ආහාර රටාවේ තිබෙන අක්‍රමවත් බවයි. ඒ කියන්නේ සමබර ආහාර වේලක්‌ වෙනුවට අධික ලෙස මේදය සහ පිෂ්ටය සහිත ආහාරවලින් සමන්විතව දිනපතා අපගේ ප්‍රධාන ආහාර වේල් තුන වන උදේ දහවල් සහ රාත්‍රි වේල් තුන් ගැනීමයි. එවැනි ආහාර ගනිමින් ව්‍යායාම ආදියෙන් තොර වූ අලස දින චර්යාවක්‌ ගත කරන විට ඉතා ඉක්‌මනින්ම තරබාරුවට පත් වෙනවා. එහිදී උදරය ප්‍රදේශයේ ද මේදය අධිකව තැන්පත් වීමෙන් උදරය ඉදිරියට නෙරාඒම සිදු වෙනවා.

ඒ අතර අප එදිනෙදා ජීවිතයේදී වාඩිවී සිටීමේදී අනුගමනය කරන ඉරියව් රටාවන් අනුවත් ඉතා ඉක්‌මනින් උදරය ඉදිරියට නෙරා එනවා. විශේෂයෙන්ම අප වාඩිවී හිඳිමින් දවසේ වැඩි කාලයක්‌ ගත කරනවා නම් එම වාඩිවී සිටීමේ ඉරියව් වැරදි සහගත නම් එයත් මේ සඳහා බලපානවා.

වාඩිවී සිටීමේ නිවැරදි ඉරියව්ව වනුයේ කොන්ද කෙලින් තබාගෙන උරහිස දෙපසට විහිදුවා යටිබඩ ඉස්‌සී තිබෙන ලෙස වාඩිවීමය.

උරහිස්‌ හකුළාගෙන කොන්ද නවාගෙන කුදුවී යටිබඩ පහළට නෙරා එන ලෙස වකුටු වී ගිය ඉරියව්වෙන් වාඩිවී සිටින විට ඉතා පහසුවෙන් උදරය ඉදිරියට නෙරා එනවා. වර්තමානයේ බොහෝ දෙනා වාඩිවී සිටින්නේ මෙවැනි වැරදි ඉරියව්වලට අනුව බව අනාවරණය වී තිබෙනවා.

අප ව්‍යායාම මගින් දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක්‌ එක්‌ ආහාර වේලක්‌ තුළින් ගන්නවා නම් කෙතරම් ව්‍යායාම කළත් ශරීරයේ බර අඩුවන්නේ නැහැ.

උදරය ඉදිරියට නෙරාඒම වළක්‌වා ගැනීම හෙවත් බඩ අඩු කරගන්න නම් පළමුව අප අපගේ ශරීරයේ උසට සරිලනව තිබිය යුතු බර හඳුනාගත යුතුයි. ඊට අමතරව අපගේ ශරීරයේ තිබිය යුතු ඉණ වට ප්‍රමාණය දැනගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්‌වා ඇති අගයන් අනුව පිරිමියකුගේ ඉණ වට ප්‍රමාණය අඟල් 36 ට අඩුවෙන් ද කාන්තාවකගේ ඉණ වට ප්‍රමාණය අඟල් 34 ට අඩුවෙන් ද තිබිය යුතුයි. එවැනි පුද්ගලයන් නිරෝගී බරකින් යුතු අය ලෙස හඳුන්වනු ලබනවා.

තවත් වැදගත් වන්නේ, ආහාරයක්‌ ගැනීමෙන් පසු ව්‍යායාමවල යෙදීමේදී ව්‍යායාම මගින් දහනය කරන්නේ අප ගත් ආහාර වේලෙහි ඇති මේදයයි.

සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා ව්‍යායාම කළ යුත්තේ නම් උදැසන ආහාර වේල ගැනීමට පෙර කල යුතුයි. ඒ වගේම සැම ගනු ලබන ආහාර වේලක් තුළ තිබිය යුත්තේ ව්‍යායාම මගින් දහනය කළ කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයකි.

විශාල බඩවල් ඇති අය විනාඩි 45 කට වඩා එක තැන හිඳගෙන සිටීම හොඳ නැහැ. විශේෂයෙන් රාත්‍රි යාමයේ පැය 7 ක්‌ 8 ක්‌ සුවසේ නිදාගත යුතුයි. දිනකට පියවර දසදහසක්‌ ඇවිදීම කළ යුතුයි. මෙය වෙනස්‌ නොකළොත් මුළු සමාජයම රෝගීන් තත්ත්වයට පත් වෙනවා.

මේ ලින්ක් එක හරහා ඔබගේ බර සහ උස සටහන් කිරීමෙන් online මගින් ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI දැන ගත හැකිය.

http://www.suwasariya.gov.lk/index.php…

ශරීර ස්කන්ධ දර්ශකය යනු අපේ ශරීරයේ බර හා උස අතර අනුපාතය පෙන්වන දර්ශකයකි. මෙහි වැදගත්කම වනුයේ එය නිකන්ම නිකන් දර්ශකයකට වඩා අපේ සෞඛයය පිලිබද පැහැදිලි කරන නිදර්ශකයක් වීමයි. මෙය අපේ ආහාර රටාව, වයායාම වල යෙදිම, ඒ වගේම සමහර රෝග වලට ඇති අවදානම වගේ බොහෝ කරුණු පෙන්වනවා. මෙය පහල තියෙන සමීකරණයෙන්ද ගනනය කරන්න පුලුවන.

ශරීර ස්කන්ධ දර්ශකය(BMI) =
ඔබේ බර(කිලෝ ග්‍රැම් වලින්)
———————————–
ඔබේ උස2( වර්ග මීටර වලින්)

 

 

ලිපිය උපුටාගත්තේ Helabojun  ෆේස් බුක් ගිණුමෙනි.
සැකසීම හා සම්පුර්ණ කිරීම – Helabojun Team

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …