ඖෂධ මාෆියාවට හිස නමන්නේ නෑ – වෛද්‍ය සයුර සමරසුන්දර

 

  • මේ වෙනකොට නව ඖෂධ පනතක් හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂ අරමුණක් වුණේ ඖෂධ මිල අඩු කිරීම. එය යථාර්ථයක් බවට පත් වෙලාද? අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?

ඇත්තටම ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව කාරණා රැසක් පදනම් කරගෙන අවුරුදු 20ක් පමණ තිස්සෙ මේ පනත ගෙන ඒමට උත්සාහ ගත්තා. නමුත් පසුගිය වසරේ තමයි පනත සම්මත කරගන්න අවස්ථාව ලැබුණේ. ඒ යටතේ මේ වන විට නිතර භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය ඖෂධ 47ක පමණ විකිණීමේ මිල පාලනයක් ගෙන එන්න අපි කටයුතු යොදලා තියෙනවා.
අපි දැක්කා වෙළෙඳපොළේ සමහර ඖෂධ මිල ගණන් නියම වෙලා තිබුණේ 800%ක වගේ ලාභයක් ඇතුව. ඒ නිසා මිල පාලනයක් සිදු කළ යුතු බවට අපේ සංස්ථාව වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාත් තීරණය කළා. මොකද දෛනිකව ඖෂධ ලබා ගැනීමට සිදුව තිබෙන අයට මේ කාරණය ප්‍රශ්නයක් ලෙස අපි දැකපු නිසා. අපේ මිල පාලනයත් එක්ක අපිට හැකි වෙලා තියෙනවා ඒ වගේ අයගේ 50%කින් පමණ ඖෂධ සඳහා වැය කළ මිල පාලනය කරදීමට. ඒ කියන්නෙ මේ යුගයට සාපේක්ෂව මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යාමට අපිට හැකියාව ලැබිලා තියෙනවා.

  • ඖෂධ මිල පාලනයක් සිදු කිරීමට නම් අනිවාර්යයෙන් ඖෂධ නිෂ්පාදනය වැඩි කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ඔබලා දැනට සිදු කරන නිෂ්පාදන කටයුතු තීව්‍ර කර තිබෙනවාද?

ඔව්. ඒ කාරණය අපි මුල ඉඳලම කියලා තියෙනවා. ඒ වගේම අපි දැන් මේ වන විට ඒ කියපු දේ කරලා තියෙනවා. අපි දැනටමත් කර්මාන්තශාලා දෙකක් හොරණ සහ එකක් නුවර වශයෙන් කර්මාන්තශාලා තුනක් පිහිටුවමින් යනවා. මේ වෙනකොට ඒවායේ වැඩ කටයුතු 80%ක් පමණ ඉවරයි. එළඹෙන ජනවාරි වෙනකොට ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉතාම පැහැදිලිව ඖෂධ මිල පහළ මට්ටමක තබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි දැනට ඖෂධ නිෂ්පාදනාගාර කිහිපයක්ම ආරම්භ කරන්නට වැඩකටයුතු සකස් කර තිබෙනවා.

  •  අපි කැමතියි ඒ ගැන වැඩිදුරටත් සඳහන් කරනවා නම්?

අපි මේ වන විට කළුතර ප්‍රදේශය කේන්ද්‍රගත කරගෙන ඖෂධ කර්මාන්තපුරයක් ඇරඹීමට කටයුතු යොදා තිබෙනවා. ඒ කියන්නෙ එහි මුළුමනින්ම සිදු වෙන්නෙ මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම. ඒ තුළ මේ කර්මාන්තයට ප්‍රවිෂ්ට වීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට කර්මාන්තපුරයට එක්වීම හරහා ඖෂධ නිෂ්පාදනය කිරීමට යොමු වෙන්න පුළුවන්. දැනට අපි ඒ වෙනුවෙන් අක්කර 50කට අධික භූමියක් වෙන් කරගෙන තිබෙනවා.

  • අපි කැමතියි ඒ ගැන තවදුරටත් විස්තර දැන ගන්න?

දැනටමත් වෙන්කර ඇති අක්කර 50 භූමිය තුළ අපි බලාපොරොත්තු වෙනවා එක් ආයෝජකයෙකු හට අක්කර 5කට ආසන්න භූමි ප්‍රමාණයක් වෙන් කර දෙන්න. ඒ ලබා දීම සිදු කරන්නේ දීර්ඝ කාලීන බදු පදනමකට යටත්ව. මෙහි දී අපි සැලකිය යුතු ප්‍රමාණයක භූමියක් ලබා දෙන්නෙ ඖෂධවල විතරක් නෙවෙයි පරිසර ආරක්ෂාව ඇතුළු කිසිදු ආකාරයක ගැටලුවක් ඇති නොවන ආකාරයට මේ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අවශ්‍ය වටපිටාව හදා දීමට. ඒ තුළ අදාළ ආයෝජකයන් හට උපරිම සහන ලබා දීමටත් අපි කටයුතු යොදනවා. ඒ තුළ අපේ අපේක්ෂාව වෙන්නෙ මේ ආශ්‍රිත ආයෝජන වෙනුවෙන් දිරිමත් කිරීමක් ලබා දීම. මොකද මේ කටයුත්ත අපේ රටට අලු‍ත් අත්දැකීමක් සහ අපේ අපේක්ෂාවක්. එය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ යුතුකමක් සහ වගකීමක්. ඒ අයුරින් අරඹන කර්මාන්තපුරයේ සාර්ථකත්වය මත අප එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා. ඒ කියන්නේ අපි තවත් ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුර කිහිපයක්ම බිහි කරන්නට අපේක්ෂාවෙන් සිටිනවා.

  • ඖෂධ නිෂ්පාදනය කිරීම දිරිමත් කරන අතරතුර එහි ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද?

අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් සමහර ඖෂධ තිබෙනවා ඒවා නිෂ්පාදනයට ගනු ලබන මූලද්‍රව්‍යවලටත් වඩා මිල අඩුවෙන්. ඇත්තටම අපි ඒ සමහර ඖෂධ එතරම් අඩු මිලකට විකුණන්න අවස්ථාව සකසාගෙන තිබෙන්නේ ගුණාත්මක අතින් පහළ මට්ටමක තිබෙන නිසා බව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ නිසා අපි එවැනි තත්ත්වයන් පාලනය කිරීමටත් මෙරට තුළ සිදු කරන ඖෂධ නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂා කර දීමටත් අපේ කර්මාන්තපුරයේ වෙනම ඖෂධ තත්ත්ව පාලන අංශයක් ස්ථාපිත කරන්නට කටයුතු යොදා තිබෙනවා.

ඒ හරහා නියම ප්‍රමිතියෙන් යුතු ඖෂධ ඒ කර්මාන්තපුරයෙන් නිකුත් කිරීමටත් ඊට අදාළව රාජ්‍ය වගකීමක් ලබා දීමටත් හැකියාව ලැබෙනවා. ඒ හරහා නිරන්තරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සාපේක්ෂව ඖෂධවල ගුණාත්මක භාවය රකින්නට අපි කටයුතු කරනවා.

  •  ඖෂධ ආනයනය සීමා කරමින් ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීමට අදාළව තිබෙන ඉලක්ක ගැන සඳහන් කරනවා නම්?

අපේ කෙටිකාලීන ඉලක්කය තමයි දැනට අපේ රටේ වැඩියෙන්ම භාවිතා කරන ඖෂධ කාණ්ඩ වන පෙති සහ කරල් අවශ්‍යතාවෙන් 85%කට වඩා අපේ රට තුළම නිෂ්පාදනය කිරීම. ඒ ඉලක්කය ඉදිරි වසර දෙක තුළ සාර්ථක කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඖෂධ කර්මාන්තපුරය ඇරඹීමත් සමඟ මුළු ඖෂධ ආනයනයෙන් අවම වශයෙන් 75%ක්වත් අපේ රට තුළම නිෂ්පාදනය කරන්නට අපිට ඉලක්කයක් තියෙනවා.

ඒ වෙනුවෙන් මේ වන විට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් අප වෙත ලැබී තිබෙනවා. ඒ වගේම ඉදිරිපත් වී සිටින ආයෝජකයන්ගේ හැකියාව සම්බන්ධවත් අපට තහවුරුවක් ලැබී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කරන තාක්ෂණික සහයෝගය ලබා දීමට මේ වෙනකොටත් රටවල් කිහිපයක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නෙ මේ වෙනකොටත් අපි මෙම වැඩපිළිවෙළේ අවසාන අදියරට ඇවිත් තිබෙන්නෙ.

  •  මේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ ඇති බාධා සහ සීමා මොනවාද?

ඇත්තටම අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කරපු මුල් කාලසීමාවේ දී බාධා සහ සීමා පැවතියා. නිදර්ශනයක් ලෙස සඳහන් කරනවා නම් සමහර ඖෂධ අපි නිෂ්පාදනය කරන විට ඒ ඖෂධ ආනයනය කළ සමාගම් ක්ෂණිකව එම ඖෂධවල මිල පහළ දැමීමට කටයුතු කළා. නමුත් කියන්න සතුටුයි දැන් අපි ඒ සීමාව පහුකරලා ඉන්නෙ. දැන් ඒ වගේ වැඩවලින් අපේ නිෂ්පාදන කටයුතු අර්බුදයට යවන්න හැකියාවක් නෑ. ඒ නිසා අපි වගකීමෙන් කියනවා අඩු මිලට සහ ගුණාත්මක බවින් යුතු ඖෂධ සැපයීමට අපට හැකියාව තිබෙන බව.

  •  ඖෂධ වෙළෙඳාම කියන්නෙ මත්ද්‍රව්‍ය සහ ආයුධ මාෆියාවට සමගාමීව ලෝකයේ ප්‍රබලම මාෆියාවක්. ඒ තුළ ඔබලා කියන ගුණාත්මක බව රැකීම සහ මිල පාලනය ප්‍රායෝගික පියවරක් වෙයිද?

ඇත්තටම ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ලංකාව ගත්තොත් ඩොලර් මිලියන 400කට අධික ඖෂධ ප්‍රමාණයක් ආනයනය කරමින් තිබෙනවා. ඒ අපට වාර්තා වී ඇති ප්‍රමාණය විතරයි. ඉතින් අපි ඒ ඖෂධ මෙහෙම නිෂ්පාදනය කරන්න යන විට ඒ පාර්ශ්වවලට පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රශ්න එන්න පුළුවන්.

  •  ඒ කියන්නෙ මේ වන විටත් ප්‍රශ්න ඇවිත් තියෙනවා?

ඔව්. මටත් ප්‍රශ්න ඇවිත් තියෙනවා. නමුත් දැනට කරගෙන යන කිසිවක් නවත්වන්න සිදු වෙන්නෙ නෑ. මට එය වගකීමෙන් යුතුව කියන්න පුළුවන්. මොකද පැසසිය හැකි සහයෝගයක් ආණ්ඩුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් අපිට ලැබෙමින් තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා වගේම සෞඛ්‍ය ඇමැතිවරයා මේ කාරණය වෙනුවෙන් ඍජුවම සහාය පළ කරමින් සිටිනවා. මොකද මේක සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සහ ආශීර්වාදයෙන් යුතුව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. ඒ නිසා මොන අභියෝග පැමිණියත් අපේ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාමේ හැකියාව අපට තිබෙනවා.

  • දැනට කරගෙන යන වැඩකටයුතුවල ප්‍රගතිය සම්බන්ධව කතා කළොත්?

මේ වෙනකොට අපි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් සිටිනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ඖෂධ නිෂ්පාදකයන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර අවසන් කර තිබෙනවා. ඒ හරහා අපට හැකි වෙනවා මෙරට තුළ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා අරඹන විට ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමට. ඒ යටතේ අපි ඉතාම නුදුරේ දී ඔවුන් පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කරනවා. එය සිදු කරන්නට අපේක්ෂා කරන්නෙ අපේ ආයතනය යටතෙමයි. මොකද මේක ප්‍රායෝගික කටයුත්තක්. පොතේ විදිහට බෙහෙත් හදන්න බෑ. ප්‍රායෝගික පුහුණුව ලබන්න අපේ ආයතනය තමයි වඩාත් සුදුසු. මේ වෙනකොට ඒ පාඨමාලා වෙනුවෙන් මා අදාළ ආචාර්ය මණ්ඩල සමඟත් අවසන් එකඟතාවන්ට පැමිණ අවසන්.

ඒ වගේම තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ආරම්භ කිරීමෙන් පසුව අපි 2015 වසරේ ඉතිහාසයේ වැඩිම ලාභය ලබන්නට සමත් වුණා. ඒ වගේ ඉතිහාසයේ වැඩිම නිෂ්පාදන ධාරිතාවත් අපි වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි, දැනට ලැබී තිබෙන විදෙස් ආධාරත් යොදාගෙන අපේ නිෂ්පාදන ධාරිතාව ලබන වසර වන විට දෙගුණයක් කරන්නට මේ වන විටත් සැලසුම් කරලා ඉවරයි.

ඇත්තටම මේ කටයුතු සිදු කරන්නට හැකියාව සහ ධෛර්යය ලැබෙන්නෙ ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මහා භාණ්ඩාගාරයේ සහාය නිසා. ඇත්තටම වැඩපිළිවෙළක් සාර්ථක කරගන්න නම් ඊට අදාළ සියලු‍ පාර්ශ්වවල සහාය අවශ්‍ය වෙනවා. අපිට එය ලැබෙමින් තිබෙනවා. ඒ නිසා ඒ සහාය දුන් සියලු‍ දෙනාවම මං කෘතඥ පූර්වකව සිහි කරනවා වගේම ඉදිරියටත් ඒ සහාය අපේක්ෂා කරනවා

~ සත්හඩ ~

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …