ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙසෙන කලාපවල පැතිර යමින් පවතින වකුගඩු රෝගය සහ මුඛ පිළිකාව අතර සම්බන්ධයක් පවතින්නේදැයි සොයා බලන මෙන් විදේශගත ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල එම ඉල්ලීම කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය ඩබ් එම් තිලකරත්න පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.
ලෝකයේ මුඛ පිළිකා රෝගීන් වැඩියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවේ බව පෙන්වා දෙන මහාචාර්ය තිලකරත්න, මාස හයේ බිළිඳුන් පවා මුඛ පිළිකා රෝගීන් අතර සිටින බව හෙළි කර තිබුණි.
මුඛ ව්‍යාධිවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපතිවරයාද වන මහාචාර්ය ඩබ් එම් තිලකරත්න පවසන පරිදි, ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වන්නේ පොලොන්නරුව, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි.මහාචාර්යවරයාගේ මෙම ප්‍රකාශය, ආචාර්ය ගම්මම්පිලගේ ඉල්ලීමට පදනම්වී ඇත.
ශ්‍රී ලංකාවේ, රෝගයට හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන් (CKDU) බහුතරය වෙසෙන්නේද පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල බව පෙන්වා දෙන ආචාර්ය ගම්මම්පිල, විශේෂයෙන්ම වකුගඩු රෝගයට හේතුවන ප්‍රධානම සාධකය ආහාරවල අඩංගු කැඩ්මියම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණවලින් හෙළි වී තිබෙන බව සඳහන් කළේය.
“ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි අරන් තියෙනවා, කැඩ්මියම් පිළිකාව ඇතිකරන ද්‍රව්‍යයක් කියලා,” බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එසේ සඳහන් කළ ආචාර්ය ගම්මම්පිල, “මවු කිරිවල කැඩ්මියම් අඩංගු වෙන්න පුළුවන් බව වෙනත් රටවල කරපු පර්යේෂණවලින් හෙළිවෙලා තියෙනව. නමුත් ශ්‍රී ලංකාවේ එහෙම පර්යේෂණයක් කරල නැහැ,” යැයි ද පෙන්වා දුන්නේය.
මුඛ පිළිකාව සහ වකුගඩු රෝගය අතර සම්බන්ධයක් පැවතිය හැකිය යන්න තවමත් සිය උපකල්පනයක් පමණක් බව පිළිගන්නා ආචාර්ය ගම්මම්පිල, ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන මෙන් තමන් ඉල්ලා සිටින්නේ එබැවින් බව ද අවධාරණය කළේය.
මහාචාර්ය තිලකරත්න පෙන්වා දෙන පරිදි දුම්කොළ, පුවක් සහ හුණු සමඟ බුලත්විට හැපීම සැපීම මෙන්ම දුම් පානය ශ්‍රී ලංකාවේ මුඛ පිළිකාව පැතිර යාමට ප්‍රධානම හේතුව බව විශ්වාස කෙරෙන නමුත්, තවමත් එය විද්‍යාත්මකව සනාත වී නැත.
එහෙත් මාස හයක් වයසැති බිළිඳෙකුට මුඛ පිළිකාව වැළඳෙන්නේ ‘බුලත් කෑමෙන්’ දැයි ආචාර්ය ගම්මම්පිල ප්‍රශ්න කරයි.
“මාස හයේ ළමය බුලත් කනවද? දුම්කොළ කනවද? නෑ. එයාට ආහාර ලැබෙන්නේ මවුගෙන් පමණයි.”
ශ්‍රී ලංකාවේ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගේ (CKDU) මුත්රාවල කැඩ්මියම් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 දී පැවැත්වූ පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන බව ද ආචාර්ය කමල් ගම්මම්පිල වැඩිදුරටත් පැවසීය.
(www.bbc.com/sinhala පලවූ ලිපියකි)