මීට වසර කීපයකට උඩදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. 2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු නමුත් එම පරීක්ෂණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෙනත් බලවතුන් ගේ බලපෑම් මත නවතා දමන ලදි.
2013 වසරේ වකුගඩු ජාවාරම පිලිබඳව කමිටුවක් පත් කරන ලදි. එහි මූලිකත්වය දැරුවේ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාය. එහෙත් එම කමිටුව සොයා ගත් දෙයක් නොවීය. සියළු පරීක්ෂණ බලවත් හස්තයන් මගින් අක්‍රිය කොට දමන ලදි. වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු වූයේ නැත. වකුගඩු ජාවාරම පිලිබඳව කමිටුවක් පත් කල වකවානුවේදී වකුගඩු ජාවාරම මඳක් අඩුවී ගියද යළිත් වෙනස් මුහුණුවරකින් වකුගඩු ජාවාරම හිස ඔසවා ඇත. වර්තමානයේ වකුගඩු මාෆියාව ක්‍රියාත්මක වන්නේ උතුරේය. තැරැව්කරුවන් විසින් උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට සොච්චම් මුදලක් දී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. මෙම ක්‍රියාවලියේදී යාපනය රෝහලේ වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සිදු කරන අතර ඔහුද නීති විරෝධී වකුගඩු ජාවාරමේ පුරුකක් වී තිබේ.
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්ෂා කොට යහපත් මට්ටමේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඇති පුද්ගලයන් වකුගඩු දායකයන් ලෙස පුද්ගලික රෝහල් වලට රහසේ යොමු කරන බවට තොරතුරු හෙළිවී ඇත. යුද්ධයෙන් අවතැන්වී දුගී බවින් පෙලෙන උතුරුකරයේ තරුණයන් වකුගඩු දායකයන් කර ගනිමින් සිදු කරන ජාවාරමේදී දායකයාට ලක්ෂ 5 ක මුදලක් ලැබෙන අතර වකුගඩු මාෆියාවේ වෛද්‍යවරයෙකුට එක රෝගියෙකු ගෙන් ලක්ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. මෙම ජාවාරම උතුරුකරයේ දැන් බොහෝ කාලයක් පුරා සිදු වෙයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු කොට තිබෙන බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර වකුගඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හවුල් බව ඉන්දියාව මුලින්ම හෙළි කළ අතර මෙරට රජය ඒ පිළිබඳව සොයාබලා වාර්තාවක්ද ලබා ගත්තේය. නමුත් වාර්තාවට සිදුවූ දෙයක් නොමැත. මුලින්ම මෙම ජාවාරම කෙරුනේ ඉන්දියානු දුප්පත් තරුණයන් ලංකාවට ගෙනවිත් ඉතා සුළු මුදලක් ඔවුන්ට ලබා දී ඔවුන්ගේ වකුගඩු ගලවාගෙන පොහොසතුන්ට බද්ධ කිරීමය.නමුත් දැන් ජාවාරම සිදු වන්නේ උතුර හා දකුණ අතරය. මේ සඳහා වෛද්‍යවරු ගනනාවක් මෙම වකුගඩු මාෆියාව සමග වැඩ කරති. ඔවුන් නිරුපද්‍රිතව මෙම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම කරගෙන යන්නේ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බව දන්නා නිසාය.
නිලක්ෂී පෙරේරා