මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝග තත්ත්වය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කිරිමක් සිදු කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද එම කරුණු දැක්වීමේ ලිපිය පහත පරිදි වේ.
-උපුටා ගැනීම-
“මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඉන්ෆ්ලූවන්සා රෝගය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද්දක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රජාවට දන්වා සිටී.
සෑම වසරකම ඊසාන දිග මෝසම් වර්ෂාපතනය සමඟ ඉන්ෆ්ලූවන්සා රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව පසුගිය වසරේ ද (2019) නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී රෝගීන් වැඩිපුර වාර්තාවීමක් පෙන්නුම් කරන ලදී.
නමුත් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව පැහැදිලි අඩු වීමක් දක්නට ලැබුනු අතර, ඉදිරි කාලය තුල ඉන්ෆ්ලූවන්සා රෝගයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකිය.
මෙම සෘතුමය (Seasonal) ඉන්ෆ්ලූවන්සා වෛරස මඟින් ඇති කරන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ නොහොත් ‘Flu’ රෝගී තත්ත්වය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර බොහෝ විට ප්‍රතිකාර රහිතවම සුව අතට පත්වේ.
නමුත් ඇතැම් පුද්ගල කාණ්ඩවලට විශේෂයෙන් ගර්භනී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් හා නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා රෝගීන් වැනි රෝග වලින් පෙළෙන්නන් හට ඉන්ෆ්ලූවන්සා වෛරස ආසාදන තත්ත්වය තීව්ර වීමට හෝ සංකූලතා ඇති වීමට වැඩි ඉඩක් ඇති බැවින් එම අවදානම් කාණ්ඩවලට අයත් රෝගීන් එවැනි රෝග ලක්ෂණ ඇතිවූ විට ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගෙන අදාල වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු වේ.
එමඟන් මෙම ඉන්ෆ්ලූවන්සා රෝගය උත්සන්න වීම හා සංකූලතා ඇතිවීම අවම කරගත හැකිය.
මනා සෞඛ්‍ය තත්වයෙන් සිටින කුමන වයස් කාණ්ඩයක අයෙකුට වුවද මෙම රෝග ලක්ෂණ ඇතිවී යම් තීව්ර වීමක් හෝ ශ්වසන අපහසුතාවයක් ඇතිවුවහොත් ඔවුන් ද හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
රෝගය බෝවීම හා පැතිරීම පාලනය සඳහා මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර ඒ සඳහා කහින විට හා කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම, නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන් හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසුය.
විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් හා අවදානම් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් අනවශ්‍ය ලෙස අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසීම, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් යාම අවම කිරීම මගින් මෙම රෝගය පැතිරීම තවදුරටත් පාලනය කරගත හැකිය.
දැනට පවතින මෙම රෝගී තත්ත්වය සාමාන්‍ය රෝගී තත්ත්වයක් විනා අළුත් වෛරසයක් මඟින් ඇති වූ හඳුනා නොගත් රෝගී තත්ත්වයක් නොවන බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
-උපුටා ගැනීම අවසන්-
ලිපිය උපුටාගැනීම – අදදෙරණ