අපේ රෝගීන්ට අද හෙට ඉන්සියුලින් විදගන්න ක්‍රමයක් නැති වෙයිද?

රටේ පවත්නා දැඩි ඉන්සියුලින් හිඟයට අපේ රට මුහුණ දෙන්නේ කොහොමද?

කොවිඞ් භීතියෙන් මුළු මහත් ලෝකයම ඇවිලී යත්දී එතෙක් අපට තිබු බොහෝ ලෙඩ රෝග වලට පැවතී අවධානය කිසියම් ප්‍රමාණයකින් ලුහුවත් වන්නට වුණා. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් සැපයුම් යාන්ත්‍රණය බිඳවැටීම නිසා ඉන් බොහෝ දෙනා බලවත් පීඩාවට පත්වුණා. රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් සඳහා ඉන්සියුලින් නැතිවීම ඉන් කැපී පෙනුන ගැටළුවක්.

මේ ඉන්සියුලින් ගැටළුව සම්බන්ධයෙන් විමසීමේදී කායික රෝග වෛද්‍යවරයෙක් අපට අදහස් දැක්වූයේ මේ විදිහට….

“ඇත්තටම පහුගිය කාලෙ ඉන්සියුලින් වල ගැටළු කිසියම් ප්‍රමාණයකින් මතු වුණා. රජයේ රෝහල් වල වගේම පෞද්ගලික අංශයේත් ඉන්සියුලින් නැති වුණාම අපට සිද්ධ වුණා මුඛ මගින් ගන්නා ඖෂධ වලට රෝගීන් මාරු කරන්න. ඒක හොඳ දෙයක් නොවෙයි, එයින් ඔවුන්ගේ සීනි මට්ටමේ පාලනය ගිලිහී යන්න වගේම වෙනත් සංකූලතා මතු වන්නත් පුළුවන්. ඒත් පවතින දුෂ්කර තත්ත්වය හමුවේ ඊට වෙනස් විසඳුමක් දෙන්න පුළුවන් කමක් නෑ… “

ඉන්සියුලින් විදගන්න වට්ටෝරුගත වුණ රෝගීන්ට මුඛ මගින් ගන්නා රුධිරගත සීනි මට්ටම පාලනය කරන ඖෂධ විකල්පයක් නොවෙයි. ඔවුන්ට සීනි පාලනය ඇති කරවන ඉන්සියුලින් වහාම ලබාදිය යුතුයි. ඒත් ලෝකයම අකර්මන්‍ය වූ මොහොතක එහෙම කරන්න අපට හැකියාවක් තියෙයිද?

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශන ඒ සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කළා.

අපට සැපයුම් ලබා දෙන්න නියමිතව තිබුණූ චීනය, ඉන්දියාව ආදී රටවල් අනපේක්ෂිත විදිහට අකර්මන්‍ය වුණා. ඒව ලොක්ඩවුන් කළා. මේ නිසා අප ගිවිසගත් ඉන්සියුලින් ඇතුළුව වෙනත් ඖෂධ මේ අවස්ථාවේ අපට ලබා ගන්නට හැකියාවක් නෑ. ඒ අනූව අපට තියෙන සැපයුම් ටික කළමණාකරණය කරගන්න නිතැනින්ම සිද්ධ වුණා.

මෙහිදී මූලික වශයෙන් රෝහල් වල නැවතී ප්‍රතිකාර ලබන රෝගීන්ට තියෙන ඉන්සියුලින් අරපිරිමැස්මෙන් දෙන්න අප උත්සුක වුණා. ඒ වන විට මාසික සායනත් අකර්මන්‍ය වෙලානෙ තිබුණෙ. අප තියෙන ප්‍රමාණය ඒ නිසා නැවතී ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් වෙන් කළා.

ඒ හැරුණූ විට අපට මීට සති දෙකකට විතර ඉස්සර ලැබුණූ ඉන්සියුලින් වයල් 80,000ක් තිබෙනවා. මේ ඉන්සියුලින් අපට ලැබුණූ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ National Medicines Regulatory Authority (NMRA) නිර්දේශිත රටකින් නොවෙයි. එහෙම වුණාම ඒවා භාවිතයට ගන්නට පෙර ඖෂධ පරීක්ෂා වලට අමතරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියකුත් ගත යුතුයි. මෙයට කිසියම් කාලයක් ගත වන නිසා මේ අවස්ථාවේ හදිසි අවශ්‍යතාවලට එය විසඳූමක් සපයන්නෙ නෑ. අප නියමිත රටවලින් ඉන්සියුලින් ලබා ගැනීමට ඇතිවූ අපහසුතාවය හේතුවෙන් මේ ආකාරයට වෙනත් රටකින් ඖෂධ ඇණවුම් කළේ රෝගීන්ගේ අවශ්‍යතාවය නිසියාකාරයෙන් අවබෝධ කරගත් නිසා බවත් කිව යුතුයි.

සාමාන්‍යයෙන් අපට ඉන්සියුලින් ලබා ගන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රට වලින්. එක්සත් රාජධානියේ නිෂ්පාදිත ඉන්සියුලිනුත් අපට රෝගීන් වෙත නිකුත් කිරීමට ජාතිාක ඖෂධ නියාමන අධිකාරිය බලය දී තිබෙනවා.

මේ අතරේ පසුගිය අප්‍රියෙල් 12 වනදා අපට ඉන්සියුලින් වයල් 160,000ක් ලැබුණා. මෙය අපට මාස තුනකට අවශ්‍ය වන ප්‍රමාණය. එය අපට වහාම රෝහල් වලට ලබා දෙන්න හැකි වේවි. එවිට මේ රෝහල් වල පවත්නා ඉන්සියුලින් හිඟය සම්පූර්ණයෙන්ම මග හැරී යනු ඇති.
හැබැයි, ඒ අතරේ රෝගීන් අපහසුතාවයට පත් නොවන ආකාරයට අප රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙළඳපොළ තොගත් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මේ අනූව ඉදිරි කාලයේදී රෝගීන් අවදානමට ලක් කරවන ඉන්සියුලින් හිඟයක් ඇති නොවන බවට මේ කරුණූ වලින් පෙනෙන්නට තිබෙනවා.

යස ඉසුරින් පිරි රටවල් වල දියුණූ සෞඛ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇති අවස්ථාවක පවා මේ ආකාරයෙන් දූරදර්ශීව කටයුතු කරමින් අපේ ජනතාව රැක බලා ගන්නට අපේ සෞඛ්‍ය සේවාව කටයුතු කිරීම ආඩම්බරයක් නේද?

ශ්‍රී ලාංකිකයෙක් වශයෙන්, මේ රටේ පුරවැසියකු වන්නට ලැබීම ගැන ආඩම්බර වන්නට තවත් හේතු ඕනිද?

Credit: The Morning
Bharata Gunathilaka, Doctormagazine.lk

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …