Covid-19 වෛරසය හේතුවෙන් ඇතිවන වසංගත රෝග තත්ත්වය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් සොයා යන පර්යේෂණ ගමන්මඟේ එක් සන්ධිස්ථානයක් වෙත ළඟා වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසකට හැකි වී තිබෙනවා.
මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන SARS-CoV2 වෛරසය, මාදිලි කිහිපයකින් යුක්ත බව සහ සමහර මාදිලි අනෙක් ඒවාට වඩා හානිදායක බව මින් පෙර පර්යේෂකයන් විසින් සොයාගනු ලැබුවා. ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු ආසාදිතයන් ලොව නොයෙක් රටවල් වලින් පැමිණි නිසා ඔවුන් මේ වෛරසයේ මාදිලි කිහිපයක් රට තුළට ගෙන එන්නට ඇති හැකියාව වැඩියි. මේ නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනයේ, අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ඒකකයේ පර්යේෂක කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව තුළ SARS-CoV2 වෛරසයේ මාදිලි වල ජාන නිර්ණය කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ පර්යේෂණාගාරයක් තුළ වෛරසයක සම්පූර්ණ ජීනෝම අනුක්‍රම නිර්ණයක් (genomic sequencing) සිදු කළ පළමු වතාව මෙයයි. මින් පෙර අපේ රට වෙනුවෙන් එවැනි ජීනෝම නිර්ණයන් සිදු කරන ලද්දේ විදේශයන් හි දී පමණයි. එවන් තත්ත්වයක් හමුවේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ලබා ඇත්තේ සැබෑ ජයග්‍රහණයක් බව නො අනුමානයි.
මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවමින් නායකත්වය ලබාදුන්නේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින්. ඇය ගේ අධීක්ෂණය හමුවේ ආචාර්ය දේශ්නි ජයතිලක, ආචාර්ය චන්දිම ජීවන්දර, ආචාර්ය දිනුක ආරියරත්න, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ලක්සිරි ගෝමස්, ශෂිකා දයාරත්න මෙනෙවිය, ශයිරා තුනුස්සිය මෙනවිය, ආචාර්ය ටෙහානි ද සිල්වා, සමාලි ද සිල්වා මෙනෙවිය, ආචාර්ය සචිත් මදුරංග, ආචාර්ය බුද්ධිනි ගුණතිලක, ආචාර්ය දුම්නි ගුණසිංහ, ආචාර්ය විමල් විමලචන්ද්‍රන්, තිලංගරාජ් පද්මනාදන් මහතා, ජයනි ගමගේ මෙනවිය, වෛද්‍ය තුෂාලි රණසිංහ, ආචාර්ය චමත් ප්‍රනාන්දු සහ දියනාත් රණසිංහ මහතා මෙම පර්යේෂණ කණ්ඩායමයේ කටයුතු කරනු ලැබුවා. මින් බොහෝ දෙනා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් ද වීම විශේෂත්වයක්.
මෙම ජීනෝම නිර්ණය නිසා ශ්‍රී ලංකාවේ සංසරණය වන SARS-CoV2 වෛරස මාදිලි පිළිබඳ ඉතා වටිනා දත්ත අනාවරණය කරගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ හඳුනාගත් ආසාදිතයන් තුළ මෙම වෛරස මාදිලි 4ක් සංසරණය වන බවයි ඔවුන් පවසන්නේ.
නව කොරෝනා වෛරසයට පිළියම් සොයමින් අපේ රටේ විද්‍යාඥයන් යන පර්යේෂණ ගමන්මඟේ තවත් ඉදිරියට යන්නට, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ගේ මේ අනාවරණය බොහෝ ඉවහල් වනු ඇත. ඒ පිළිබඳව සුබ පැතුම් එක් කරන අතරේ ජීවිත බේරාගැනීම සඳහා ඔබ සියලු දෙනා කරන මේ මානුෂීය ක්‍රියාන්විතයට අපි හිස නමා ආචාර කරමු.
Article written by : Rivishani Chandrasekara ( උපුටාගැනීම – japura flames ෆේස්බුක් පිටුවෙනි)