අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා.
1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම ඇත්තටම මටවත් හිතාගන්න බෑ.
විශේෂයෙන් ලංකාව වගේ, මානසිකව ඉක්මනින්ම බිඳවැටිලා ජීවිතය අතහරින අය අතර ඉඳගෙන මේ ගමන එනවා කියන්නේ ම ප්රාතිහාර්යයක්.
දින 1500ක් රෝහලට එනවා කියන්නේ කොපමණ අමාරු කාර්යයක්ද කියලා මේ ටික දැක්කම ඔබට වැටහේවි,
එක ඩයලසීස් වාරයකදී ඩයලිසීස් එකක් කරන්න සාමාන්‍යයෙන් පැය හතරක් යනවා. අපි ඩයලසිස් කරන්න රෝහලට යන්නේ අපට දීලා තියෙන දිනයට, දීලා තියෙන වෙලාවට. හැබැයි එතැනට වෙලාවට ගිය ගමන්ම අපව ගන්නේ නැහැ. අපි අවම පැයක්වත් එළියේ ඉන්නවා. එයට හේතුව තවත් රෝගීන් ඩයලසිස් කරන බැවින් ඔවුන් නිමවන පිළිවෙලට තමයි අපිව ඇතුලට ගන්නෙ.
ඉන්පසුව අපව ඩයලසීස් ප්‍රතිකාර ඒකකය ඇතුළට ගත්තට පස්සේ. මැෂින් රෙඩි වෙලා, අපේ ප්‍රතිකාර සටහන් බලලා අපේ අත්වලට කටු ගහාන්න පැය භාගයක් විතර යනවා, ඊට පස්සේ ඩයලසීස් එක ආරම්භ වෙනවා. ටයිලිසීස් එක ආරම්භ කරපු පැය හතර තුළ අපිට අපේ කටු ගහපු අත හොල්ලන්නවත් බෑ. මේ පැය හතරම නොසෙල්වී ඇඳේ සිටිය යුතුයි. ඩයලසිස් ප්‍රතිකාරය ඉවරවෙලා පැය හතරකට පස්සේ අපේ කටු ගලවන්නත් තව විනාඩි විස්සක් පැය භාගයක් විතර යනවා. මේ සියලු කාලය එකතුකරාම ආසන්න වශයෙන් පැය හයක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රුධිරය පිරිසිදු කරන්න පමණක් මම රෝහලේ පැය 6 බැගින් දවස් 1500 එනම් 1500 ×6 = පැය 9000 මේක සෙල්ලමක් නෙවෙයි.
මේ පැය 9000 ඩයලසිස් ප්‍රතිකාර කාලය වෙනුවෙන්, මම අවුරුදු 14ක් රෝහලට ඇවිත් තියෙනවා, ඉදිරියටත් එන්න වෙනවා.
ආසාවට හිතේ හැටියට වතුර ටිකක් බොන්නෙ නැතුව, ආස කරන ගමනක් බිමනක් දවස් දෙක තුනක් යන්න බැරුව, ආස කරන කෑමක් කටට රසට කන්න බැරුව ගෙවන මේ ජීවිතයේ වැඩක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. සමාජයට මං කරන සේවය වෙනුවෙන් සහ සමාජය මගෙන් බලාපොරොත්තු වන සේවය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්නේ කියලා හිතලා හිත හදාගෙන ඉන්නවා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර ඩයලසිස් කර කර නිකං ඉන්නේ නැතුව රජය මුදල් වියදම් නොකර වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන්නේ කියලා, මමත් එහෙම ආසාවෙන් ඉන්නවා ,වකුගඩුවක් බද්ධ කරන්න බැරි එකයි ප්‍රශ්නේ ඒ මගේ ඇඟේ කැපුම් වැඩියි,ඒ වගේම මගේ ඇඟේ ප්‍රතිශක්තිකරන මට්ටම ගොඩාක් වැඩියි. ඒක නිසා බද්ධ කරන වකුගඩුව ඇඟ ප්‍රතික්ෂේප කරනවා,
මේ ඩයලසීස් ප්‍රතිකාර ක්‍රමය ඉතා වෙහෙසකරයි. මාත් මේක ට කැමති නැහැ මාත් ආසයි වකුගඩුවක් බද්ධ කරලා හිතේ හැටියට වතුර ටිකක් බීලා හිතේ හැටියට රට තොට ඇවිදලා ඉන්න, ඒත් අකමැත්තෙන් උනත් දැන් මෙයට කැමති වෙලා ඉන්න සිදුවෙලා තියෙනවා. වකුගඩු රෝගියෙක් කැටියට මාත් බලාපොරොත්තු තියාගෙන දෙසැරයක් වකුගඩු බද්ධ කළා, පළමු වතාවට බද්ධ කළ වකුගඩුව, වෛද්‍යවරුන්ගේ වූ යම් යම් අතපසුවීම් මත ,බඩ ඇතුලෙම පුපුරලා ගිහිල්ලා,මැරිලා කියලා අයින් කරපු මනුස්සයෙක් හැටියට ආයි ජීවත් වෙනවා, දෙවන වතාවටත් වකුගඩුවක් බද්ධ කරනවා ඒ 2014 එයත් අසාර්ථක ශල්‍යකර්මයක් පමණක් වනවා, ඒ බද්ධ කරපුවා සාර්ථක වුණානම් අද මම නිරෝගී පුද්ගලයෙක් හැටියට ඉන්නවා, නමුත් ජීවිතේ හැටි එහෙම තමයි මේ ස්වභාධර්මය අපිට ලබා දීලා තියෙන යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ දීලා තියෙන දේ අනුව අපි ඉන්න පුරුදු වෙන්න ඕනේ
මම දන්නවා මේ පෝස්ට් එක දකින සමහරු රජය මට කරල තියෙන වියදම ගැන දැන් ගණන් හදාව්, ඔව් ඒක ඇත්ත , මේ අපි වගේ අයව ජීවත් කරන්න රජය විශාල වියදමක් දරනවා, දළ වශයෙන් මේ ඩයලසීස් 1500 එක ඩයලසීස් ප්‍රතිකාරයක් රු, 10000 කියලා හිතුවොත් රජය මාව ජීවත් කරවන්න ඩයලසීස් වලට විතරක් ලක්ෂ එකසිය පනහක් එහෙමත් නැත්නම් කෝටි එකහමාරක් වියදම් කරලා තියෙනවා , ඒවා ඇත්තටම මේ රටේ සංවර්ධනයට යොදන්න තිබ්බ මුදල්, හැබැයි රජයේ ඒ වගේ වියදමක් දරද්දී , මම මට හැකි හැටියට මේ රටට මගේ යුතුකම කරලා තියෙනවා. මම හැමදාම විශ්වාස කරනවා මම මේ රටට තුන් වරක් ණය වෙච්ච මනුස්සයෙක් කියලා.
එක මං ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය නිසා. නිදහස් අධ්‍යාපනය ලබපු මම පළමු වරට මේ රටට ණයයි
දැන් මම සේවය කරන්නේ රජයේ මට වැටුප් ගෙවන්නෙත් අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් රජයේ සේවකයෙක් හැටියට දෙවැනි වතාවට මං මේ රටට ණයයි.
තුන දැන් මට සිදු කරන ප්‍රතිකාර සිදු කරන්නේ රජය මුදල්වලින් , ජීවත් වෙන්නේ රජයෙන් මට ප්‍රතිකාර කරන නිසා ඒ නිසා මං තුන්වෙනි වරටත් මේ රටට ණයයි.
හැබැයි ණයකාරයකු නොවී මේ රටට උපරිම සේවය සහ උපරිම කැපවීම මම ලබා දීලා තියෙනවා, මේ රෝග තියාගෙනත්, ගුරුවරයෙක් හැටියට මම උපරිම ලෙස උගන්නපු කෙනෙක්, විදුහල්පතිවරයෙකු හැටියට මගේ උපරිම සේවය කරන කෙනෙක්, අභිප්‍රේරක දේශකයෙකු හැටියට දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත විශාල ලෙස වෙනස් කරපු කෙනෙක්, එපමණක් නොවෙයි රෝහල්වලට අවශ්‍ය කරන බෙහෙත් උපකරණ කෝටි තුනකට ආසන්නව ලබාදෙමින් මට කරන ප්‍රතිකාරවලට ප්‍රති උපකාර කරපු කෙනෙක්, ඒකට මාත් සමග එකතු වුණේ මුහුණු පොතේ මගේ ආදරණීය සහෝදර සහෝදරියක්, එනිසා මම විශ්වාස කරනවා මේ රටට මම මගේ සේවය උපරිම කරන කෙනෙක් කියලා.
මේ අවුරුදු දාහතරක ගමන තුළ , විඳපු වේදනා දරපු දරා ගැනීම් ගැන කතා කරන්න හරි අමාරුයි, ඒ නිසාම තමයි නොනවතිමි ඇවිද යමි කියලා ඒ ගැන පොතක් ලිව්වේ,
සමහර අවස්ථාවල බොහෝ දෙනා මගේ මරණයට දින ලියනවා, සමහර මළ ගෙවල් වලට, මගුල් ගෙවල් වලට, උත්සවවලට ගියාම සමහරු මගේ මූණටම අහනවා තාම ජීවත් වෙලා ඉන්නවා නේද කියලා,ඒ වෙලාවට හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
සමහර අය අහන්න පුළුවන් ඩයලසීස් 1500ක් කරපු කරපු ඉන්දුක පොරක්ද කියලා. එහෙම අහන අයට බං බය නැතුව කියනවා
ඔව් මම පොරක් කියලා .පුංච් දේටත් ජිවිතෙ අත් හරින මේ රටෙ තරුණ තරුණියන් අතර , ශරීරයේ වකුගඩු දෙකම නැතිව,ඇත්තටම ජිවත් වෙන්න තියෙන එකම බලාපොරොත්තුව ඩයලසීස් ප්‍රතීකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැතිනම් රෝගීන් ප්‍රකාශ කරන පරිදි ලේ මාරු කිරීම පමණක් හිමිව වෙනත් කිසිදු විකල්පයක් නොමැතිව සිටියදි,මැරෙන්න ඕන තරම් හේතු තිබියදි සියලුම දුක කරදර ඉවසමින් එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් ජිවත් වෙමින් ,රට වටා සංචාරය කරමින්,රට වටා පාසල් වලට ආයතන වලට යමින් පාසල් දරුවන්ට .මෙන්ම සමාජයේ අනෙකුත් අයවලුන් වෙනුවෙන් ජිවිතෙ ට බලාපොරොත්තු දෙමින්,ජිවත් වන මේ මොහෝත සතුටින් ගත කරන, සමහර සීනීබෝල තාරුණ්‍යයට කනට ගහලා ජිවිතෙ ඉගෙනගෙන ජිවත් වෙන්න කියලා දෙන ඉන්දුක පොරක් තමයි.
හැබැයි මම මේ පිළිතුර දෙන්නේ මගෙන් එහෙම අහන අයට විතරයි. එහෙම නැතිනම් ඉන්දුක ප්‍රනාන්දු කියන්නේ මේ රටේ තැලෙන පොඩි වෙන මිනිස්සු අතර ඉඳිමින්, තැලෙමින් පොඩි වෙමින් මිරිකෙමින් ,ජීවිතය කුමක්ද යන්න ගවේෂණය කරමින්, අවිනිශ්චිත හෙට දිනය ගැන දුක් නොවී නිශ්චිත අද දිනයේ සතුටින් ඉදිමින් වටේම අයවත් සතුටින් තියන්න බලන පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක්.
සමහර අයට හිතෙන්න පුළුවන් කොළඹ ජාතික රෝලෙන් පමණද මේ ඩයලසීස් ප්‍රතිකාර ප්‍රමාණය කරලා තියෙන්නෙ කියලා
නැහැ මුලින්ම ඩයලසීස් ප්‍රතිකාරය කරන්න ගත්තෙ .
2010 ඒ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ මගෙ මතකයට අනුව.
ශ්‍රි ජයවර්ධනපුර ඩයලසීස් වාර::; . -03
කළුබෝවිල රෝහලේ -…………. ;;….05
මාලිගාවත්ත වකුගඩු රෝහලේ ; – 78
මුල්ලේරියාව රෝහලේ …….. :;……..96
බදුල්ල මහ රොහලේ…………… …..01
නව ලෝක පෞද්ගලික රෝහලේ -03
ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ . 72(පමණ)
සිංගප්පූරු පෞද්ගලික රෝහලේ 56(පමණ)
නාවින්න මෙඩිකෙයා රොහලේ 24(පමණ)
පන්නිපිටිය නර්සින් හෝම් …… :…32(පමණ)
කින්ස් පෞද්ගලික රෝහලේ . 80(පමණ )
මහනුවර ආසරි පෞද්ගලික රෝහලේ…01
කොළඹ ජාතික රෝහලේ 2024/04/24 දිනට 1500
ඒ අනුව සියළු ඩයලසීස් වල එකතුව දළ වශයෙන් 1945 වාරයක් මේක ඇත්තටම සෙල්ලමක් නොවෙයි
මේ සියල්ල ඩයලසීස් කරන අතර තුර මගෙ මතකයෙන් ලියන නිසා රෝහල් හා ඉලක්කම්වල පුංච්,පුංච් වෙනස්කම් සිදුවිය හැක.
ඩයලසීස් ප්‍රතිකාරය කරමින් ජිවත් වෙනවා විතරද.
නැහැ අනිත් අය ජිවත් කරමින්.ඔවුන්ට ජිවත් වෙන්න අවශ්‍ය උත්තේජන ලබා දෙමින් ජිවත් වෙනවා.
ඩයලසීස් කරන ගමන් ගුරුවරයෙක් හැටියට අදටත් දරුවන්ට උගන්වනවා., රෝගයෙන් බැට කමින් පෂ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සමත් වෙනවා, 2019 විදුහල්පති විභාගය සමත්ව නියෝජ්‍ය ව්දුහල්පති වරයෙකු හැටියට සක්‍රියව සේවය කරන ගමන්,අධ්‍යාපනපති උපාධිය අවසන් අදියර නිම කරමින් සිටිනවා. වාර්ෂිකව ශ්‍රි පා පිං බිම කරුණා කරනවා මේ ගමන් කටුකයි.ඒත් නොනැවති ඇවිද යනවා.
මේ ගමන් මගේ දැන් ඇත්තටම මට ගොඩක් වෙහෙසයි, විශේෂයෙන් පෞද්ගලික රෝහල්වලින් අධික වියදමත් අර ගනිමින් ඩයලසිස් කිරීම ගොඩක් වෙහෙසයි, ඉස්සර රුපියල් 9000, 1000 කරපු ඩයලසිස් ප්‍රතිකාරය දැන් දොළොස් දාහක්, ජීවත් වෙන්න නම් ඒ ඩයලොස් ප්‍රතිකාරය පිටින් කරන්නම වෙනවා,
ඇත්තටම මෙතුවක් කල් මට ජීවත් වෙන්නේ ශක්තිය දුන්නෙ රෝහල්වල වෛද්යවරුහෙද කාර්යය මණ්ඩලය, රෝහල් කනිෂ්ඨ සේවක මණ්ඩලය, විශේෂයෙන්ම මගේ ඔක්සිජන් මගේ හුස්ම අංගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ හිටපු ගුරු බවතුන්, මගෙ අක්කා අයියා ඇතුළු පවුලේ සියලු දෙනා. කොළඹ ජාතික රෝහලේ සියලුම දෙනා,මුල්ලේරියාව රෝහලේ වෛද්‍යතුමන්ලා ඇතුළු ඩයලසිස් අංශයේ සියලුම දෙනා,කළුබෝවිල මහ රෝහල,මාලිගාවත්ත වකුගඩු ඒකකය,ජයවර්ධනපුර රෝහල,බදුල්ල මහ රෝහල ඇතුළු, මා ප්‍රතිකාර ලැබූ සියලුම පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩලය ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරමින් ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් ඔවුන්ට පින් දෙනවා.
අපේ වගේ රටවල බොරු මතයක් තියෙනවා ඩයලොසිස් ප්‍රතිකාරය කරමින් වැඩිකල් ජීවත් වෙන්න බැහැ කියලා,ඔබේ හිත ශක්තිමත් නම් , ජීවිතය අතහැරීමට සූදානම් නැත්නම්, ආදරයෙන් වැළඳගන්න කැමතිනම්,අපට ඔබව කළමනාකරණය කරගන්න පුලුවන්නම්, මෙලෙස ප්‍රතිකාරයත් එක්ක ජීවත් වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි කියලා ඔබට දැනේවී, ඔබ නැගිටින විට ඔබ වටා ඉන්න අයත් නැගිටිනවා, අපිට ස්වභාව ධර්මය පවා ඔබට ආශිර්වාද කරනවා. මගේ ජීවිතයේ ලොකුම විශ්වාසය මූහුණු පොතේ මගේ සහෝදර සහෝදරයන් මට දෙන ආශිර්වාදය විශ්ව ශක්තියත් එක්ක එකතු වෙලා මාව ජීවත් කරවනවා කියන එකයි. ඉතින් ආදරණීය මුහුණු පොතේ ඔබට මාව මෙතෙක් ජීවත් කලාට, මට ආශිර්වාද කළාට,
මගේ ජීවිතේ නැගිටින්න උදව් කලාට අනේක වාරයක් පින්
ඔබට ජිවිතෙ අත් හරින්න හිතෙන ඔනෑම මැරෙනවාට වඩා ජිවත් වෙලා ජිවිතෙ ට අර්ථයක් ලබාදීම කොපමණ සුන්දරද කියලා ඔබට දැනෙවී
ආදරණීය මිනිසුනි ඔබට ජීවිතය අතහරින්න හිතෙන ඕනෑම වෙලාවක මට කතා කරන්න, මං ඔබත් තමග හයියට ඉන්නවා, ඔබ ජීවිතය දිනනකම් මම මට පුළුවන් විදියට ඔබට උදව් කරනවා.
මම
ඉන්දුක ප්‍රනාන්දු
2024/04/24( කොළඹ ජාතික රෝහලේ ඩයලසීස් කරන අතර තුර..)
උපුටාගැනීම – ඉන්දුක ප්‍රනාන්දු මහතාගේ facebook පිටුවෙනි..