චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ වෛරස් එක පතුරුවන්නේ Aedes aegypti සහ Aedes albopictus කියන මඳුරුවන්ගේ ගැහැණු මඳුරුවන්.

විශේෂයෙන් දිවා කාලයේදී තමයි මේ මදුරුවන් මිනිසුන්ට මේ රෝගය බෝ කිරීම සිදුකරන්නේ.මොවුන් පිරිසිදු ජලය රැඳී ඇති ස්ථාන වල බිත්තර දමන අතර මඳුරුවන් දෙවර්ගයම අවට පරිසරයේ බිත්තර දැමීම හා බෝවීම සිදුකරන අතර විශේෂයෙන් aegypti විශේෂය ගෘහස්ත පරිසරය තුලත් බිත්තර දමා බෝවීම සිදුකරනවා.
චිකන්ගුන්‍යා වෛරසය ශරීරගතවී නැති මඳුරුවෙක් විසින් එම වෛරසය ශරීර ගතවී ඇති පුද්ගලයෙකුට දෂ්ඨ කිරීමේදී එම පුද්ගලයාගෙ රුධිරයේ ඇති වෛරසය එම මඳුරුවාගේ ශරීරයට ඇතුලු වීම සිදුවන අතර ඉන් පසු දින කිහිපයක් මඳුරුවාගේ ශරීරය තුල ගුණනය වීම සිදුවේ.පසුව මඳුරුවාගේ ඛේට ග්‍රන්ථි වලට වෛරසය ගමන් කරන අතර ඉන්පසු මඳුරුවා දෂ්ඨ කරන නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට මඳුරුවාගේ ඛේඨය මගින් වෛරසය ඇතුළු වේ. ඉන්පසු පෙර පරිදිම එම පුද්ගලයාගේ ශරීරය තුලද ගුණනය වීම ආරම්භ කරන වෛරසය දින කිහිපයකින් පසු රෝග ලක්ෂණ පෙන්වීම සිදුකරයි.
රෝග ලක්ෂණ
වෛරසය ශරීර ගතවීමෙන් පසු දින 4 – 8ක් අතර රෝග ලක්ෂණ මතුවන අතර රෝග ලක්ෂන දින 2 – 12 අතර කාලයක් පවතී. මෙහෙදී උණ සමඟ සන්දි වල දැඩි වේදනාවක් ඇති වීම ප්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් හැඳින්විය හැක. මෙම සන්දි වේදනාව දින කිහිපයක සිට මාස කිහිපයක් දක්වා පැවතිය හැකිය.
ඊට අමතරව සන්දි ඉදිමුම,මාංශපේෂී වේදනාව,හිසරදය,වමනය, මහන්සිය,සමේ කුෂ්ඨ වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැක.
නිවැරදි ප්‍රතිකාර සඳහා චිකන්ගුන්‍යා හා ඩෙංගු උණ පැහැදිලිව හදුනාගත යුතු අතර ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර සදහා යොමුවිය යුතුය. එහිදී වෛද්‍යවරයා විසින් නියම කරන රුධිර පරීක්ෂණ මගින මෙම තත්වය වෙන්කර හඳුනාගත හැකිය.

ප්‍රතිකාර
ප්‍රතිකාර වශයෙන් උණ සහ අස්ථි වේදනාව අඩු කර ගැනීමට වේදනානාශක ලබාදීම සිදුකරන අතර ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කරමින් විවේකීව සිටීම වෛද්‍ය උපදෙසයි.
ඩෙංගු උණෙන් පැහැදිලිව වෙන්කර හදුනාගන්නා තෙක් උණ සහ සන්දි වේදනා අඩු කරගැනීම සදහා පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම වෛද්‍ය නිර්දේශයයි.