Breaking News

දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්


සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි

මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි අවධානමක් පවතින බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි.

විශේෂයෙන් තරුණ ගැහැනු දරුවන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වන බවද ඔහු කීය.

මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිතයේදී ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර සුහද කාන්තා සංවිධානය මගින් සංවිධානය කළ වැඩසටහනකදී වෛද්‍ය නිලධාරීවරයා මේ බව පැවසුවේය.

ජාතික සාම මණ්ඩලයේ අනුග්‍රහයෙන් ප්‍රජා සහභාගිත්වය තුළින් අන්තර්කරණය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම යටතේ මෙම වැඩසටහන මහනුවර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්විණි.

නාගරික පොදු වැසිකිළි 08ක් මහනුවර මහ නගර සභාව මගින් වසර 05 ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 313ක මුදලකට ටෙන්ඩර් ලබා දී තිබේ.

වැසිකිළි භාවිත කිරීමේ දී රුපියල් 20ක ගාස්තුවක් අය කළ හැකි බවට ටෙන්ඩරයේ සඳහන් වුවත් මේ වනවිට එම කොන්දේසිවලට පිටින් ටෙන්ඩර්කරු රුපියල් 30ක මුදලක් අය කරන බව සාකච්ඡාවේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීති වෛද්‍ය නිලධාරි පාලිත සුබසිංහ මෙසේ ද පැවසුවේය.

“පැය 08ක සේවා කාලය තුළ අවම වශයෙන් දෙවරක් පොදු වැසිකිළි භාවිත කළහොත් දෛනිකව රුපියල් 60ක පමණ මුදලක් ගෙවීමට සිදුවනවා. මාසිකව ගණනය කිරීමේදී එම මුදල රුපියල් 2,000කට ආසන්නයි. විශේෂයෙන් මහනුවර ටොරින්ටන් වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන ගැහැනු ළමුන් මෙහිදී දැඩි අපහසුතාවට පත්වෙනවා. මාසික උපයන 20,000 – 30,000 අතර මුදලෙන් වැසිකිළි යෑම සඳහා රුපියල් 2,000ක් 3,000ක් වැය කිරීම මේ ළමයින්ට ඉතා අසීරුයි. මේ නිසා පිරිමි බෝතල්වලට මුත්‍රා කරලා කාණුවලට හලනවා. කාන්තාවන් වැසිකිළිවලට නොගොස් මුත්‍රා බර හිරකරගෙන ඉන්නවා. මේ නිසා ඔවුන් නොයෙක් රෝගාබාධවලට ගොදුරු වන ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා. නාගරික ජනතාවට සනීපාරක්ෂක පහසුකම් සැලසීම නගර සභාවේ වගකීමක්. මේවා සේවා විදිහට තමයි නගර සභාව පවත්වාගෙන යා යුත්තේ. පොදු වැසිකිළි ටෙන්ඩර් දීලා ආදායම් මාර්ග බවට පත්කර ගන්න පනත අනුව නගර සභාවට බැහැ. අනිත් පැත්තෙන් ටෙන්ඩරය මගින් රුපියල් 20ක් අය කරන්න ටෙන්ඩර්කරුට අවසර දීලා ඔහු රුපියල් 30ක් අය කරද්දී නගර සභාව නිහඬව ඉන්නවා. මනුෂ්‍යයකුට පාලනය කර ගන්න බැරි ශාරීරික අවශ්‍යතාවක් මුදල් ගෙවීමෙන් පමණක් ඉටුකරගත හැකි තත්ත්වයක් නිර්මාණය වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්.”

මහනුවර නාගරික පොදු වැසිකිළි පද්ධතිය වසර 05ක් සඳහා බදු ලෙස ලබාගත් ආර්.එම්. ධර්මරත්න මෙසේ ප්‍රකාශ කළේ ය.

“නාගරික පොදු වැසිකිළිවල තිබෙන විදුලි බුබුළු හා ටැප් මතුකුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ගලවාගෙන යනවා. සමහරු වැසිකිළි තුළ මත්කුඩු පානය කරනවා. ජල ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළාට පස්සේ රුපියල් 20ට ටොයිලට් පාවිච්චි කරන්න දීලා ලාභයක් ගන්න බැහැ. වැසිකිළි පිරිසිදු කරන්න යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිලත් දැන් පෙරට වඩා වැඩියි. ඒ නිසා නගර සභාවට කියලා දැන් රුපියල් 30ක් අය කරනවා. තවත් 10ක් වැඩි කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කළා. තාමත් ඒකට ප්‍රතිචාරයක් නැහැ.”

මෙම අවස්ථාවට සුහද කාන්තා සංවිධානයේ අධ්‍යක්ෂ ප්‍රසංගිකා ධර්මවංශ ඇතුළු පිරිසක් සහභාගී විය.

අසේල කුරුළුවංශ -මහනුවර

(උපුටාගැනීම – Gampola Janamadyawediya ,ෆේස්බුක් පිටුවෙනි)

About freddy

Check Also

මේ දිනවල ව්‍යාප්ත වන චිකන්ගුනන්‍යා ⁣ගැන දැනගනිමු

චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ …