Breaking News

හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..

පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා..

ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා…

අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා ..

ඉතින් මම ඒ තාත්තට කියලා දුන්නා prednisolone එහෙම බොන්න හොඳ එකක් නෙවේ, එහෙම හිතු මනාපයට බොන්න ගියොත් වෙන්න මෙන්න මේ දේ කියලා..

ඉතින් ඒ තාත්තා කියපු දේ තේරුම් ගත්තා.. (හැබැයි සමහර අය ඉන්නවා මොන තරං පැහැදිලි කරත් තේරුම් නොගන්න)..

ඉතින් මෙන්න මේ නිසා අද මම ලියන්න හිතුවා මොන තරං වටිනා ඖෂධයක් උනත් prednisolone, හරි උපදෙස් නැතුව බොන්න ගියොත් වෙන භයානක කම..

ඔයාගෙ කවුරු හරි වෛද්‍ය උපදෙස් නැතුව prednisolone බොන්න පුරුදු වෙලා ඉන්නවා නම් මේ ලිපිය පෙන්නන්න..

(Prednisolone විතරක් නෙවේ Methylprednisolone, hydrocortisone, Dexamethazone, වගේ අනිත් steroid වලිනුත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්)

හැමදාම කියනවා වගේ තමන්ට දුන්න බෙහෙත් එකක් ඒ ගැන දැනුමක් නැතුව වෙන කෙනෙක්ට දෙන්න යන්න එපා…

මොන තරම් කිව්වත් ඒ මෝඩ වැඩේ කරනවා..
ලිපිය ටිකක් දිග වේවි.. ඒත් අවසන් වන තුරු කියවන්න.. ඉතාම වටිනා ලිපියක් මේක..

මොනවද මේ Prednisolone කියන්නේ..?
Prednisolone කියන්නේ අපේ ඇඟේ ස්වභාවිකවම නිශ්පාදනය වෙන cortisol කියන steroid hormone එකට සමාන විඳිය ට නිශ්පාදනය කරලා තියෙන ඖෂධයක්… මෙන්න මේ Prednisolone අයිති වෙන්නේ corticosteroids කියන කාණ්ඩයට.

Prednisolone කියන්නේ වටිනා ඖෂධයක්, හැබැයි ඉතින් පරිස්සමින් හරි උපදෙස් මත පමණක් භාවිතා කරනව නම්..
නැත්නම් තමන්ගේ හිතු මනාපයට Prednisolone බොනවා කියන්නේ තමන් තමන්ම විනාශ කරගන්නවා වගේ වැඩක්..

අපි දැන් බලමු Prednisolone මොනවටද භාවිතා කරන්නේ කියලා..?
Prednisolone ගොඩක් රෝග සදහා වටිනා ඖෂධයක්..

● Prednisolone වලට ප්‍රදාහය (Inflammation) අඩු කිරිමේ හැකියාව තිබෙනවා.. අන්න ඒ නිසා ප්‍රදාහයට හේතු වෙන මෙන්න මේ රෝග වලට ලබා දෙනව..
1. හතිය ඇතුළු ස්වසන මාර්ගය
ආශ්‍රිත රෝග සදහා
2. Arthritis..
3. Inflammatory bowel disease

● Autoimmune Disorders එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්ම තමන්ගේ ශරීරයට බලපෑම් කිරීම නිසා ඇතිවන රෝග..

● අසාත්මිකතා (ALLERGIES)

● දඳ (Rash), Psoriasis වැනි හමේ රෝග සදහා

● රුධිර සහ අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත
සමහර රෝග සදහා

● සමහර පිළිකා

● අවයව බද්ධ කිරීමෙන් පසු (Transplant)

Prednisolone පවතින ආකාර මොනවද..?

  1. පෙති (5mg)
  2. සිරප්
  3. Eye drops
  4. Injections

ඇයි Prednisolone හිතු මනාපයට බොන්න හොඳ නෑ කියන්නේ..?
අපි දැන් එන්නේ වැදගත්ම මාතෘකාවට,, Prednisolone හිතු මනාපයට බොන්න ගියොත් එන භයානක තත්වය ගැන කථා කරන්න..

Prednisolone වලට අතුරු ආබාධ බොහොමයක් තියෙනව, ඒවා ගැන සලකල තමයි වෛද්‍යවරු Prednisolone මාත්‍රාව සහ Prednisolone ලබා දෙනවද නැද්ද කියලා තිරණය කරන්නේ..

එන්න තියෙන අතුරු ආබාධ වලට වඩා ලැබෙන්න තිබෙන ප්‍රතිපල වැඩි නම් ලබා දීමක් කරනවා

අපි බලමු එන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියලා..
■ රුධිරගත සිනි ප්‍රමාණය වැඩි වීම..
■ රුධිර පීඩනය වැඩි වීම
■ ශරීර ප්‍රතිශක්තිය අඩු වීම
■ ඔස්ටියෝපොරෝසිස් ඇතිවීම
■ මානසික තත්වය වෙනස්වීම
■ ආහාර රුචිය වැඩිවීම
■ වමනය ඔක්කාරය වැනි ආහාර මාර්ගය ආශ්‍රිත අපහසුතා
■ ශරීරයේ තරල එකතුවීම
■ තුවාල සුව වීමට කල් ගත වීම
■ පොඩි ලමයින්ට දීර්ඝ කාලීන ව ලබා දීම වර්ධනය අඩු වෙන්න හේතුවක් වෙනවා

ඉහත සදහන් කරා වගේ අතුරු ආබාධ රාශියක් ඇති වෙන්න පුළුවන් prednisolone වලට..

ඊට අමතරව Prednisolone ගන්නවා නම් පිළිපදින්න ඕන වැදගත් කරුණු කිහිපයක් තියෙනව.. අපි බලමු ඒ මොනවාද කියලා..

● සාමාන්‍ය රෝගයකට වෛද්‍යවරුන් විසින් දවස් 3, 5 වැනි කෙටි කාලයකට Prednisolone නිර්දේශ කරාට පසු ඒ දවස් ගනන පමනක්ම ලබා ගන්න..

● වැඩි මාත්‍රාවක් සති දෙකකට, තුනකට වැඩි කාළයක් ලබා ගන්නේ නම් ඖෂධය හදිසියේම එකවර නැවැත්වීම කිසිම විටක නොකළ යුතුය.. මේ නිසා ඔබට බරපතළ තත්වයක් ඇති වෙන්න පුළුවන්, වෛද්‍ය උපදෙස් මත ක්‍රමක්‍රමයෙන් මාත්‍රාව අඩු කරමින් ඖෂධ ය ලබා ගැනීම නතර කල යුතුය..

● වැඩි මාත්‍රාවක් ලබා ගන්නේ නම් වැඩිපුර සෙනග ඇති තැන් වලට, විෂබීජ සහිත ස්ථාන වලට යෑම හැකිතාක් අඩු කරන්න.. එසේ යන්නේ නම් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනූගමනය කරන්න.

● දිනකට එක් මාත්‍රාවක් පමනක් ගන්නේ නම් එය උදෑසන ලබා ගන්න..

● ප්‍රතිශක්තිකරණ එන්නත් (Vaccine) ලබා ගැනීමට පෙර ඔබ prednisolone ලබා ගන්නා කෙනෙක් නම් ඒ බව අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා දැනුවත් කරන්න

Prednisolone සමග පරිස්සමින් ලබා ගත යුතු ඖෂධ මොනවද..?

  1. NSAID කාණ්ඩයේ diclofenac, ibuprofen, aspirin, naproxen වැනි ඖෂධ සමග ලබා ගත් විට බඩේ තුවාල ඇති වීම වැඩි වෙන්න පුළුවන්.
  2. Prednisolone වලට රුධිර සිනි මට්ටම වැඩි වන නිසා දියවැඩියාවට ලබා ගන්නා බෙහෙත් ප්‍රමාණය වෙනස් කිරීමට සමහර අවස්ථව වල සිදුවෙන්න පුළුවන්..
  3. Ketaconazole වැනි දිලීර නාශක ඖෂධ සමග එකට ලබා ගත් විට රුධිරගත Prednisolone ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්.
  4. Frusemide, HCT වැනි diuretic සමග ලබා ගත් විට රුධිරයේ පොටෑසියම් අඩු වෙන්න පුළුවන්..
  5. Levofloxacin, Ciprofloxacin වැනි fluroquinolone කාණ්ඩයේ ඖෂධ සමග එකට ගත් විට මස්පිඬු වලට හානි වෙන්න පුළුවන්..

ඔයාලට දැන් තේරෙන්න ඇති කියලා හිතනවා Prednisolone කියන්නේ එහෙම හිතු මනාපයට ගන්න හොඳ ඖෂධයක් නෙවේ කියලා..
අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් මත පමනයි ලබා ගත යුත්තේ..

ඒක නිසා ඔයාට මොනවා හරි අසනීපයකට දුන්න බෙහෙත් ඒ අසනීපය ම තියෙන තවත් ඔයාගෙ හිතවතෙක් ට දෙන්න යන්න එපා.. ඒක ඔයා හිතනවාට වඩා හානිකර වෙන්න පුළුවන්..

මොනවා හරි ප්‍රශ්නයක් තියේනම් comment කරන්න.. ඒ වගේම පෝස්ට් එක like කරන්න, comment කරන්න, share කරන්න අනිත් අයට බලන්න..

Rasika Gamage,
SLMC Registered Pharmacist,
Bsc (UOJ), Certificate of efficiency as a Pharmacist (CMCC)

Facebookහි පලවූ ලිපියක උපුටාගැනීමකි.

About freddy

Check Also

මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???

මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද …