(යම් පුද්ගලයෙකු වකුගඩු රෝගී තත්වයට ගොදුරු වූ පසු එම පුද්ගලයාට විශේෂිත වූ ආහාර පාලනයක් වෙත යොමු වීමට සිදුවෙනවා. වඩාත් හොදින් මෙම රෝගී තත්වයට මුහුණදීමට එමගින් ඔබට හැකිවනු ඇති. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍ය වන ආහාර හා පෝෂ්‍ය ප්‍රමාණයන් වෙනස් වන නිසා මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ වකුගඩු රෝගියෙකුට අවශ්‍යවන අආහාර පිලිබදව යම්කිසි හදුන්වාදීමක් සිදුකිරීමට පමණයි.
ඔබ වකුගඩු රෝගියෙකුනම් ඔබගේ වෛද්‍යවරයා හා රෝහලේ පෝෂණවේදීනිය මුණගැසී ඔබටම විශේෂිත වූ ආහාර සැලැස්මක් සදහා යොමුවීමේ හැකියාව ඔබට ඇති බැවින් එම විශේෂිත ආහාර සැලැස්ම ලබා ගැනීමට යොමු වීම ඉතාමත් වැදගත්වන බව අපි අවධාරණය කරනවා.ඒ වගේම අප මෙහිදී සදහන් කරන ආහාර සැලැස්ම ඩයලයිසිස් ප්‍රතිකර්මය ලබා නොගන්නා රෝගියෙකු වෙනුවෙන් යෝග්‍යවන්නක් බවද විශේෂයෙන්ම සදහන් කල යුතුයි.)
ආහාර සැලැස්මක් වැදගත් වන්නේ ඇයි?
ඔබ ලබාගන්නා ආහාර හා පානයන් ඔබගේ සෞඛ්‍ය කෙරෙහි ඝෘජුවම බලපානවා. සෞඛ්‍යසම්පන්න ශරීර බරක් පවත්වාගැනීමට හා නිරෝගීව ජීවත්වීමට ආහාර සැලැස්මක් අවශ්‍යයි. විශේෂයෙන් ඔබට අධි රුධිර පීඩනය ඇතනම් ලුණු හා මේදය සහිත ආහාර සීමා කිරීමට ඔබ යොමු විය යුතු අතර ඔබ දියවැඩියාව තත්වයෙන් පෙලෙන්නේ නම් සීනි ප්‍රමාණය අඩු ආහාර හා පානයන් තෝරා ගැනීමට ඔබ වගබලාගත යුතුයි.
ඔබගේ වකුගඩු යම් ප්‍රමාණයකට හානි වූ පසු තවදුරටත් එම හානිය වැඩිවීම පාලනය කිරීම සදහා ආහාර සැලැස්මක් වැදගත් වනවා. එම ආහාර සැලැස්ම මගින් යම් යම් ආහාර වර්ග හා එමගින් ශරීරයට එක්වන ඛනිජ වැනි දේ ශරීරයට ලබා ගැනීම පාලනය කිරීම මගින් වකුගඩු වලට සිදුවන හානිය අඩුකර ගැනීමට හැකියි.
වකුගඩු රෝගී පුදගලයෙකු අවධානය යොමු කලයුතු පෝෂ්‍ය පදාර්ථයන් මොනවාද?
- කැලරි
- ප්‍රෝටීන්
- මේදය
- කාබෝහයිඩ්‍රේට
කැලරි ප්‍රමාණය – එදිනෙදා වැඩකටයුතු සිදුකිරීමට අපට අවශය වන ශක්තිය ලැබෙන්නේ මේ කැලරි වලින්.කැලරි අපගේ ශරීරයට ලැබෙන්නේ අපගන්නා ආහාර හා බීම වර්ග වලින්. නමුත් පුද්ගලයෙකුට අවශ්‍යවන කැලරි ප්‍රමාණය එම පුද්ගලයාගේ ශරීර ප්‍රමාණය,බර,වයස,ස්ත්‍රී/පුර්ෂභාවය මත වෙනස් වෙනවා. ඒ නිසා ඔබගේ වෛද්‍යවරයා හා පෝෂණයවේදිනිය මුණගැසී එබට ගැලපෙන ආකාරයට ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය පාලනය කල හැකියි.
ප්‍රෝටීන – අපගේ ශරීරය වර්ධනය වීම සදහා ප්‍රෝටීන් අත්‍යාවශ්‍යයි. ප්‍රෝටීන් අඩු වූ විට අපගේ සම,හිසකෙස් හා නිය වගේ දේවල් දුර්වල වෙන්න පුළුවන් වගේම ශරීරයේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිවීමත් ප්‍රශ්ණයක්.
විශේෂයෙන්ම ඔබ වකුගඩු රෝගයෙන් පෙලෙනවානම් ප්‍රෝටීන පාලනය ඉතාමත් වැදගත්. අපි ගන්නා ආහාර මගින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිවීම නිසා අපගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැඩිවීමෙන් වකුගඩුවලට තවදුරටත් හානි සිදුවෙන්න පුළුවන්. ඒනිසා ප්‍රෝටීන් සහිත ආහාර තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.
ප්‍රෝටීන අඩු ආහාර – බත්, පාන්, පැස්ටා වර්ග, පළතුරු, එළවළු
ප්‍රෝටීන් වැඩි ආහාර – රතු පැහැති මස්වර්ග, කිරි ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, මාළු
කාබෝහයිඩ්‍රෙට් – අප ශරීරයට පහසුවෙන් ලබාගතහැකි ශක්ති ප්‍රභවයක් තමයි කාෙබා්හයිඩ්‍රේට් කියන්නේ. ශරීරයට හිතකර කාබෝහයිඩ්‍රේට සහිත ආහාර වශයෙන් පළතුරු හා එළවළු දක්වන්න පුළුළුන් වගේම අහිතකර කාබෝහයිඩ්‍රේට ප්‍රභවයන් වශයෙන් සීනි,පැණිරස ආහාර,පැණිබීම වර්ග දක්වන්න පුළුවන්.
ඔබට දියවැඩියාව වැනි රෝගී තත්වයන් පවතීනම් ඔබගේ ආහාරයේ පවතින කාබෝහයිඩ්‍රේ ප්‍රමාණය පාලනය කල යුතු නිසා පෝෂණවේදිනියගේ උපකාරය ලබා ගැනීම වැදගත් වෙනවා. එ් වගේම කාබෝහයිඩ්‍රේට සහිත ආහාර වල පොටෑසියම් හා පොස්පර්ස අයන බහු නිසා ඔබගේ වකුගඩු රෝගී තත්වයේ මට්ටම මත පදනම් වී එම ආහාර වල වෙනස්කම් කිරීමට සිදුවෙනවා.
- කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර – සීනි අඩංගු පැණිරස ආහාර, කෙටි කෑම වර්ග, අල හා ඒ අාශ්‍රිත ආහාර,බිස්කට් හා කේක් වර්ග,ජෑම් වර්ග, පාන්,පිට්සා වර්ග,පාස්තා වර්ග,පැණි බීම
- කාබෝහයිඩ්‍රෙට් අඩු ආහාර – නිවිති, ගෝවා,සලාද කොල,තක්කාලි, කැරට්,බෙරි වර්ගයේ පළතුරු, ඇපල්,කොමඩු අන්නාසි,කුකුල් මස්, බිත්තර,මාළු
මේදය – අප එදිනදො ගන්නා ආහාර වල යම්කිසි මේද ප්‍රමාණයක් අන්තර්ගතවිය යුතුයි. නමුත් වැඩි මේද ප්‍රමාණයක් ආහාරයට ගැනීම ශරීරයේ ක්ලෙස්ටරෝල් මට්ටම වැඩිවීමට හා හෘද රෝග ඇති වීමට හේතු වෙන්න පුළුවන්.
නමුත් අපි ලබාගන්නා ආහාරවල අන්තර්ගත විටමින් වර්ග ශරීරයට උරා ගැනීම සදහාත් යම්කිසි මේද ප්‍රමාණයක් අප ආහාර සතු විය යුතුයි.
සාමාන්‍යයෙන් අපට හිතකර ලෙස සැලකෙන්නේ අසංතෘප්ත මේදයයි. අසංතෘප්ත මේදය සහිත ආහාර අපිට මේ විදියට දක්වන්න පුළුවන්,
- අලිගැටපේර,ඔලිව් තෙල්,රටකජු, මාළු
සංතෘප්ත මේදය සහිත ආහාර අපට හිතකර වන්නේ නැහැ. සංතෘප්ත මේදය සහිත ආහාර තමයි
- පොල්තෙල්,බටර්,මස්,චොක්ලට්,චීස්,සොසේජස්
ඒ නිසා සංංතෘප්ත මේදය සිහත ආහාරයන් මගහරිමන් ශරීරයට හිතකර මේදය වන අසංතෘප්තමේදය සහිත ආහාර වලට යොමුවීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් හිතකර මේද ලබා ගත හැකියි.
එලෙසම විශේෂයෙන් ඉහතින් සදහන් කල ආහාර වල පොෂ්‍යපාදාර්ථයන්ට අමතරව විශේෂයෙන්ම සෝඩියම් හා පොටෑසියම් යන ලවණ වර්ග අප ශරීරයට ලබා ගැනීමේදීත් වකුගඩු රෝගීන් සැලකිලිමත් වියයුතුයි. මෙම ලවණ වර්ග වල අතිරික්තයන් ශරීරයෙන් ඉවත් වෙන්නේ වකුගඩු වලින් නිසා වකුගඩුවලට හානි සිදුවූ විට එම ලවණ වර්ග ශරීරයෙන් ඉවත් වීම සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැහැ. ඒ නිසා එම ලවණ ශරීරයේ වැඩිවූ විට වෙනතු අතුරු ආබාධයන් ඇතිවිය හැකි නිසා ඒවා පාලනය ඉතාමත් වැදගත්.
සෝඩියම් – අපගන්නා සෑම ආහාරයකම පාහේ සෝඩියම් අන්තර්ගතයි. ශරීරයේ සෝඩියම් ලවණ ප්‍රමාණයන් වැඩිවූ විට ශරීරය ඉදිමීම හා රුධිර පීඩනය වැඩිවීම වැනි තත්වයන් ඇති වෙනවා.
ඔබ ආහාර පිසින විට දමන ලුණු ප්‍රමාණය පිලිබදව සැලකිලිමත් වීම(අඩු කිරීම.)
ටින් කල එළවළු හෝ පළතුරු භාවිතය වෙනුවට සීතකල හෝ නැවුම් දේ භාවිතය
සැකසූ මස් වර්ග භාවිතය නැවතීම
ලුණු සහිත ක්‍රැකර් හා බිස්කට් වර්ග අඩු කිරීම
බාබකියු කල මස් වර්ග ආහාරයට නොගැනීම යන දේ සම්බන්දයෙන් අවධානය යොමු කල යුතුයි.
පොටෑසියම් – සෝඩියම් වගේම පොටෑසියම් කියන්නේත් අප ශරීරයට අත්‍යවශ්‍ය ලවණයක්.අපේ මාංශ පේෂීන් වල ක්‍රියාකාරීත්වය සදහා පොටෑසියම් අත්‍යවශ්‍ය වන නමුත් නියමිත ප්‍රමාණයට වැඩියෙන් පොටෑසියම් ශරීරයේ අන්තර්ගතවීම හොද නැහැ. ඒ නිසා වකුගඩු රෝගීන් විශේෂයෙන් පොටෑසියම් ප්‍රමාණය පාලනය සම්බන්දයෙනුත් සැලකිලිමත් වීම වැදගත්.
ඒ නිසා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් ඇති අලිගැටපේර,කෙසෙල්,කොමඩු,දොඩම්,නිවිති,දෙහි, අල,තක්කාලි,වට්ටක්කා,රතුඅල ,පලාවර්ග වැනි දේවල් ආහාරයට ගැනීම අඩු කල යුතුයි.
පොටෑසියම් ප්‍රමාණය අඩු ඇපල්,අන්නාසි,පතෝල,වැටකොළු,කෝලිෆ්ලවර්, වැනි දේවල් වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත හැකියි.
පොස්පරස් – පොසපරස් ලවණයත් අප ගන්නා සෑම ආහාරයකම වගේ අන්තර්ගතයි. ශරීරයේ ඇති පොස්පරස් කැල්සියම් හා විටමින් ඩී සමග ක්‍රියාකරමින් අපගේ අස්ථිවල ශක්තිමත් හා නිරෝගීභාවය ආරක්ෂා කරනවා. නමුත් වකුගඩු රෝගියෙකුගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු නිසා පොස්පරස් ශරීරයෙන් ඉවත් නොවී එක්රැස් වීමෙන් අස්ථි දුර්වල වීමට පුළුවන්. ඒ නිසා ඔබගේ වකුගඩු රෝගී තත්වයේ මට්ට්ම මත ඔබගේ පෝෂණවේදිනිය හමුවී නිවැරදි පොස්පරස් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන ආහාර තෝරාගත යුතුයි.
මූලාශ්‍රය – www.healthaliciousness.com
http://www.kidneyfund.org