අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ බැදී සිටින්නේ අවයව දන්දීමෙන් තවත් ජීවිතය අයදින මිනිසුන් මෙන්ම පවුල් වල පිරිස් ලබන්නාවූ සැනසීම පුද්ගලිකව අත්විද ඇති නිසාවෙන් හා දිනෙන් දිනම ඇස් දෙකෙන් දකින නිසාවෙන්මයි.
එම නිසා අද දිනයේදීත් අවයව බද්ධ කිරීමට ඉදිරිපත් වීමට ඔබට කැමැත්තක් ඇතිනම් හෝ ඒ සදහා යම් දෙගිඩියාවක් ඇතිනම් අවයව දන්දීම සම්බනදයෙන් වන ජනප්‍රිය ප්‍රශ්ණ කිහිපයකට අපි පිළිතුරු ඉදිරිපත් කරන්නටයි මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ. අපි විශ්වාස කරනවා ඔබටත් අවයව දන්දෙන්නෙකු වන්නට කැමැත්තක් ඇතිනම් මේ ලිපිය මගින් ඔබගේ ගැටළු වලට යම් පිළිතුරක් ලැබෙයි කියලා.
අවයව දන්දෙන්නට වයස් සීමාවක් තියෙනවාද?
අවයව දන්දීමට ඔබට අවම වශයෙන් වයස අවුරුදු 18 ඉක්මවා තිබිය යුතුයි. එමෙන්ම අවයව ලබාගැනීමට උපරිම වයස් සීමාව මෙයයැයි සදහන් කිරීමට අපහසුයි. එය රටින් රටට මෙන් හෝ රෝහලෙන් රෝහලට පවා වෙනස් විය හැකියි. ඒ නිසා ඔබ අවයව දන්දීමට ඉදිරිපත් වූ විට ඔබගේ සෞඛ්‍ය තත්වය මත ඔබගේ වයසත් අවයව දන්දීම සදහා ගැලපේද නැද්ද යන්න වග රෝහලේ වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබනවා.
ඕනෑම කෙනෙකුට අවයව දන්දෙන්නට පුළුවන්ද?
අවයව දන්දෙන්නට ඉදිරිපත් වන්නට යැයි අප පොදු ආරාධනයක් කළා වූවත් හැමෝටම හිතුමතේ අවයව දන්දෙන්නට නම් බැහැ. ඒ සදහා යම් සුදුසුකම් කිහිපයක් සම්පූර්ණ කල යුතුයි. මූලිකවම අප වකුගඩු දන්දීම ගැන කථා කලොත් වකුගඩු දන්දීමටනම් ඔබට වකුගඩු ආශ්රිත රෝගයක් නොතිබිය යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය,දියවැඩියාව,පිළිකා,හෙපටයිටීස් ,විවිධ ආසාදන,මානසික ගැටළු වැනි තත්වයන් තිබෙනවානම් ඔබටත් අවයව දන්දෙන්නට සුදුසුකම් සපුරන්නට නොහැකි වනවා.
සරලවම කිව්වොත් අපගේ යම් අවයවයක් වෙනත් අයෙකු වෙත අප දන්දෙන්නටනම් අපගේ සෞඛ්‍ය තත්වය යහපත් විය යුතුමයි. එසේ ඔබගේ සෞඛ්‍ය තත්වය යහපත් බවට මුල් අවදියේදීම සරල පරීක්ෂණ මගින් තහවුරු කරගැනීමෙන් අනතුරුව තමයි වෙනත් ගැලපීමේ පරීක්ෂණ සදහා ඔබය යොමු කරන්නට රෝහල් කාර්යමණ්ඩලය කටයුතු කරන්නේ.
අවයව දන්දෙන්න 100%ක් ගැලපෙන්න ඕනාද?
නැහැ. 100%ක් ගැලපෙන අවයවයක් වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබෙයි කියල අපිට කිසිම විටක හිතන්න බැහැ. ඒ නිසා අවයවයක් බද්ධ කරන විට තෝරාගන්නේ වැඩිපුරම ගැලපෙන අවයවයයි.
අපි හිතමු යම් පුද්ගලයෙකුට වකුගඩුවක් දන්දීම සදහා පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටින අවස්ථාවක් ගැන. පරීක්ෂණ වලින් නිගමනය වී ඇති අාකාරයට වෛද්‍යවරුන් තීරණය කරනවා එක් පුද්ගලයෙකුගේ වකුගඩුව 75%ක් හා අනෙක් පුද්ගලයාගේ වකුගඩුය 90%ක් ගැලපෙන බවට. ඒ අනුව බද්ධ කිරීම සදහා වෛද්‍යවරුන් විසින් තෝරාගන්නේ 90%ක් ගැලපෙන පුද්ගලයාගේ වකුගඩුවයි.
ඒ නිසා ඔබගේ රුධිරය හා ඔබ වකුගඩුව ලබාදීමට යන පුද්ගලයාගේ රුධිර සාම්පල ලබාගෙන සිදුකරන පරීක්ෂණ කිහිපයකින් ඔබගේ අවයව රෝගී පුද්ගලයාට ගැලපෙන ප්‍රමාණය තීරණය කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව පවතින අතර එම පරීක්ෂණ වලින් අනතුරුව ඔබට ඒ පුද්ගලයාට අවයවය දන්දීමට හැකිද නැද්ද යන්න වග වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලබනවා.
මුදල් වලට අවයව දන්දෙන්නට පුළුවන්ද?
බැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවයව වෙළදාම තහනම්.
එසේ නොවුනත් අවයවයක් දන්දී ජීවිතය යදින පුද්ගලයෙකුට ජීවිතය ලබාදීසමට ඔබ යම් මුදලක් අය කරන්නට සිතන්නේ නම් ඔබ කරන කාර්යයේ අරමුණ ගැනත් ඔබ දෙවරයක් සිතිය යුතුයි.
නමුත් වර්ථමානය වන විට අවයව දන්දීම වෙළදාමක්, ජවාරමක් වෙළා. අවයව දන්දීම සදහා කැමැත්ත පළකරන බොහෝ දෙනෙක් ලක්ෂ ගණන් වලින් තමන්ගේ දන්දෙන අවයවයට මිල ගණන් කියලයි වැඩේ පටන් ගන්නේ. නමුත් ඒ කිසිම දෙයක් ලංකාවේ නීතියට අනුව සපුරා තහනම්.
ජීවත්ව සිටයදී අවයව දන්දීමද හොද ? මියගිය පසු දන්දීමද හොද?
ජීවත්ව සිටියදී හෝ වේවා මියගිය පසු හෝ වේවා අවයව දන්දීම ඉතාමත් අගය කල යුතු ගරු කල යුතු තීරණයක්.
නමුත් අවයව දන්දීම් අවස්ථාවන් දෙකෙන් වඩාත් ප්‍රථිඵලදායක මොකක්ද කියල ඇහුවොත් අපට කියන්න පුළුවන් ජීවත්ව සිටියදී දන්දීම කියල. මියගිය පුද්ගලයෙකුගෙන් ගත් අවයවයක් බද්ධ කල පසු ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්නට යම් වේලාවක් ගතවෙනවා. මොකද ඒ අවයවය යම් කාලයක් ක්‍රියාවිරහිත තත්වයෙන් පැවතීමෙන් පසුව තමයි අපි බද්ධ කිරීම සදහා යොදාගන්නේ. නමුත් ජීවත්ව සිටින පුුද්ගලයෙකුගෙන් අවයවයක් දන්දීම ඊට වඩා වෙනස්. දායකයාගේ සිරුරෙන් ඉවත් කරන තෙක් ක්‍රියාකාරීව තිබූ අවයවය විනාඩි කිහිපයක් ඇතුලත ප්‍රතිග්‍රාහකයාගේ සිරුරට බද්ධ කිරීම සිදුවන නිසා එවැනි අවස්ථාවලදී බද්ධ කරන අවයවයේ ක්රියාකාරීත්වයේ පමාවක් සිදුවන්නේ නැහැ.
ඒනිසා වඩාත් ප්‍රථිඵලදායක වන්නේ ජීවත්ව සිටියදී අවයව දන්දීමයි.
අවයව දන්දුන් පසු සුවවන්ට ගොඩක් කල් යනවද?
නැහැ. අවයව දන්දීමෙන් පසු දන්දෙන අවයවය මත හා ශල්‍යකර්මයෙන් පසු ඔබගේ තත්වය මත රෝහල් ගතව සිටින්ට සිදුවන කාලයේ පොඩි වෙනසක් සිදුවන්නට පුළුවන්. වකුගඩු දන්දීමක් ගැන කථා කලොත් දන්දීමෙන් පසු දින 3ක පමණ කාලයක් ඇතුලත ඔබට රෝහලෙන් පිටවන්නට පුළුවන්.
අවයව දන්දුන් පසු ශල්‍යකර්මය නිසා මුල් කාලයේදී යම් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවූවත් ඔබ සම්පූර්ණයෙන්ම සුව වූ පසු ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකියි.
වකුගඩු දන්දීමට අවදානය යොමු කලහොත් මුල් කාලය තුල ඔබගේ තුවාල සුවවීම කෙරෙහි අවදානය යොමු කල යුතු අතර අනෙකුත් සෑම ශල්‍යකර්මයකින් පසුව මෙන්ම බර එසවීම වැනි ක්‍රියාකාරකම් වලින් වැලකී සිටිය යුතුයි. විටින් විට ඔබගේ ඉතිරි වකුගඩුවේ ක්‍රියාකරීත්වය පරික්ෂා කර බැලීම සදහා ක්රියටිනින් හා මුත්‍රා පරික්ෂාවක් සිදුකර ගැනීම ඔබගේ අනාගත සෞඛ්‍ය තත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට උපකාරී වේවි.
ඒ වගේමයි නවීන තාක්ෂණයට අනුව විශාල කැපීමක් යෙදීමකින් තොරව laparoscopic surgery ආකාරයට ඔබගේ ශල්‍යකර්මය කරන්නේ නම් ශල්‍යකර්මයෙන් පසු ඇතිවල කැළල් සම්බන්දයෙන් තැවීමක් ඇති කරගත යුතු වන්නේත් නැහැ. ඒ ආකාරයෙන් සිදුකරන ශල්‍යකර්ම වලදී ඇති වන කැළල ඉතාමත් සුලුයි. එසේ නැති වුනත් සාමාන්‍ය ආකාරයට ශල්‍යකර්මය සිදුකලත් එමගින් ඇති වන කැළල ඔබගේ භාහිර පෙනුමට බාධාවක් නොවන අාකාරයට සිදුකරන්නට වෛද්‍යවරුන් නිරන්තරයෙන්ම උත්සහ දරනවා.
අවයව දන්දුන් පසු නිරෝගීව සිටිය හැකිද?
මේ ප්‍රශ්ණයට පිළිතුරනම් අපට දෙන්න වෙන්නේ වකුගඩු දන්දීමකට අදාලවයි.
අවයව දන්දීමෙන් පසු ඔබට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකියි. වකුගඩු දන්දීමෙන් පසු ඒ හා සම්බන්ද කිසිම විශේෂිත රෝගාබාධයක් ඔබට ඇති වන්නේ නැහැ. නමුත් ඔබ ඔබගේ සෞඛ්‍ය තත්වය සම්බන්දයෙන් නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුමයි. ඔබ වකුගඩුවක් දන්දුන්නත් නැතත් ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන වැඩි අවදානයක් යොමු කල යුතු නිසාවෙන් මේ තත්වය විශේෂිත වන්නේ නැහැ.
මාස කිහිපයකට වරක් ක්රියටිනින් හා මුත්‍රා පරික්ෂාවක් සිදුකර ගැනීම වඩාත් හොදයි. එසේ සිදුකල යුතු වන්නේ මොනයම් හෝ හේතුවක් මත වකුගඩු ආශ්රිත රෝගී තත්වයක් ඇති වන්නේනම් ඒ ගැන කළින් දැගනගැනීමටයි. එවිට මුල් අධිරයේදීම ප්‍රතිකාර මගින් එම තත්වයන් නැවතත් යථා තත්වයට පත් කල හැකියි.
එම නිසා අවයව දන්දීමෙන් පසු ඔබ රෝගී වනවායැයි අනවශ්‍ය බියක් ඇති කරගතයුතු වන්නේම නැහැ.
( මෙම ලිපිය මගින් අප උත්සහ කලේ අවයව බද්ධ කිරීමට කැමැත්තක් ඇති නමුත් ඒ සදහා පියවර ඉදිරියට තබන්නට බියවන පුද්ගලයන්ට හා ඔවුන්ට නිරන්තරයෙන් ඇති වන ගැටළු වලට පිලිතුරක් සපයන්ටයි.අප හිතනවා මේ ලිපිය මගින් ඔබට එසේ ඇති වන ගැටළු කිහිපයට පිළිතුරු ලැබෙන්නට ඇති කියලා.
ඒ නිසා හැමදාමත් වගේ අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජීවිතය යදින කෙනෙකුට ජීවිත බලාපොරොත්තුවක් එක් කරන්න ඉදිරිපත් වන්නට කියායි)