අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සම්බන්දයෙන් රාවය පුවත්පතේ නිමල් අබේසේකර මහතා විසින් රචිත ලිපියක් අහම්බෙන් මෙන් කියවන්නට ලැබිණි. එම ලිපියේ සදහන්ව ඇත්තේ පෙබරවාරි 11 වනදා ජයවර්ධනපුර රෝහලේදී අවයව බද්ධ කිරීම පිලිබදව දැනුවත් කිරීමට යැයි කියමින් වැඩසටහනක් පවත්වන බවය. ( පෙබරවාරි 11 වනදින පසුවී තිබුණත් උක්ත ලිපියට අදාළ වැඩසටහන ජයවර්ධනපුර රෝහලේ පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන පෙරවාරි 18 වනදා නිසා බැවින් මෙම ලිපිය ලිවීමට තීරණය කලෙමි. ඒ නිසාම නිමල් අබේසේකර මහතාට එම වැඩසටහනේ දිනයේ සිට ලැබී ඇත්තේ සාවද්‍ය තොරතුරු බව තහවුරු කිරීමට කැමැත්තෙමි.)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතියට අනුව අවයව බද්ධ කිරීම සදහා මුදල් ගාවා නොගත යුතු බවට වෛද්‍ය ක්ෂේත්රය තුල ආචාරධර්මයක් ඇති බවත් ඒ අනුව අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් රජයේ රෝහල් වල පමණක් සිදුකල යුතු බවට වෛද්‍යවරුන් අතර මතයක් ඇති බවත් ඒ මහතාගේ ලිපියේ සදහන් වේ. එලෙසම මෙම වැඩසටහනෙහි පසු අරමුණ වන්නේ පුද්ගලික රෝහල් සදහා අවයව බද්ධ කිරීමේ අවසරය ලබාදීම බවද ඒ මහාතා සදහන් කරයි. ඒ මතයේම ඉදිරියට යමින් ජයවර්ධනපුර රෝහල තුල යම් ප්‍රමාණයකින් මුදල් අයකරන බැවින් එම රෝහලතුල අවයව බද්ධ කිරීමට අවසරය දුනහොත් පුද්ගලික රෝහල් වලටද එම අවසරය ලබාදීමට සිදුවන බවද ඔහු කියයි.
වකුගඩු බද්ධ කිරීමකින් පසු නැවතත් ජීවිතය ලබාගැනීමට තරම් වාසනාවක් හිමිවූ මාවැනි කෙනෙකුට මේ ලිපිය කියවූ විට සිතෙනුයේ “මේ මොන විකාරයක්ද මේ කියල තියෙන්නේ ? “ලෙසටය.ඒ නිසාම එම ලිපියට මෙසේ පිලිතුර ලබාදීමට කැමැත්තෙමි.
පෙබරවාරි 18 වනදා ජයවර්ධනපුර රොහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව දන්දීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකි. එම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ජයවර්ධනපුර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය විසිනි. එහිදී එම වැඩසටහනට සහභාගී වන සියළුම දෙනාට ස්ව කැමැත්තෙන්ම අවයව දන්දීම සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමිවන අතර එම ක්‍රියාවලිය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් එදිනට පැවැත්වීමට නියමිතය. අබේසේකර මහතාගේ ලිපියේ සදහන් වන ආකාරයට අවයව බද්ධ කිරීම සදහා මුදල් ගාවා නොගතයුතු බව ඔබ තුමන් කරන ප්‍රකාශයේ බිදහෙලීමට තරම්වත් තර්කයක් නැත. මන්දයත් මෙරට නීතියට අනුව අවයව මිලදී ගැනීම හා විකිණීම වරදක් බව අප සියළු දෙනාම හොදින් දන්නා කරුණක් වන නිසාය.
එලෙසම යම් ප්‍රමාණයකට මුදල් අයකරන ජයවර්ධනපුර රෝහලට අවයව බද්ධ කිරීමේ අවස්ථාව ලබාදීම සාදාචාරසම්පන්න නොවන බවද ඒ මහතා සදහන් කරයි. එය ඇත්තකි. ජයවර්ධනපුර රෝහල තුල ප්‍රතිකාර සදහා මුදල් අයකරයි. නමුත් එසේ අයකරන මුදල් ප්‍රමාණය පුද්ගලික රෝහල් වල තරම් අධික ප්‍රමාණයෙන් නොවන බව අත්දැකීමෙන් දනිමි. එලෙසම ජයවර්ධනපුර රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලැබූ අයෙකුනම් මෙම මුදල් අයකිරීම පිලිබදව චෝදනා කරනු ඇතැයි මම නොසිතමි. මන්දයත් අයකරන මුදල් වලට සරිලන සේවාවක් එම රෝහලෙන් ලැබෙන නිසාවෙනි.
එලෙසම අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් සදහා මුදල් අයකිරීම පිලිබදව චෝදනා කරන එතුමන් සිය ජීවිතකාලයේ එක් දිනයකදී හෝ අවයව බද්ධ කිරීම් බලාපොරොත්තුවන් පොරොත්තු ලේඛනයේ සිටින රෝගියෙකුගේ ජීවිතයේ අදෝනාව,දුක,කලකිරීම,බලාපොරොත්තු සුන්වීම් පිලිබදව අත්දැක ඇත්දැයි මම නොදනිමි. ඔහු එසේ ඇත්දැක ඇත්නම් මේ ආකාරයේ අමානුෂික චෝදනාවක් ඉදිරිපත් කිරීමට ඒ මහතා ඉදිරිපත් නොවනු නිසැකය. තමන්ට ගැලපෙන වකුගඩුවක් ලැබෙන තුරු තම ජීවිතය ඩයලයිසිස් යන්ත්‍රයකට භාරදී සිටින ජීවිත,තමන්ට ගැලපෙන අක්මා කොටසක් කවදා ලැබේදැයි සිතමින් දිනෙන් දින මරණය වැලදගන්නා ජීවිත වල අත්දැකීම් බෙදාගන්නට ඒ මහතාට අවස්ථාවක් ලබාදීමෙන් එතුමාගේ මේ චෝදනාවට පිලිතුරු ලිවීමට ඒ මහතාගේම හෘද සාක්ෂිය අවදිවනු ඇත. ඒ සදහා ඒ මහතාට අවස්ථාවක් ලැබේවායැයි මම ප්‍රාර්ථානා කරමි.
කෙසේ හෝ ඔහුගේ මෙම චෝදනාවට මට ලබාදිය හැකි පිලිතුර වන්නේ රජයේ රෝහල් වල අවයව බද්ධ කිරීමට ඇති පොරොත්තු ලේඛනයන්ගේ සිටිමින් තමන්ගේ ජීවිතයේ අදුරු දින ගණන් කරමින් සිටින රෝගීන්ගෙන් කෙනෙකුට හෝ ජයවර්ධනපුර රෝහලේ ශල්‍යකර්මය සදහා අයකෙරන මුදල් ප්‍රමාණය ගෙවා එම ශල්‍යකර්මය කර ගැනීමට හැකියාව පවතීනම් ඔහුට හෝ ඇයට එසේ කිරීමට ඉඩදිය යුතු නැතැයි කියන්නට තරම් අපට අමානුෂික විය නොහැකි බවයි. ජයවර්ධනපුර රෝහල තුල ශල්‍යකර්මය සිදුකරන රොගීන් කෝටිපතියන් හෝ ලක්ෂපතියන් නොව ඔවුන්ද අබේසේකර මහතා මෙන් සාමාන්යපුද්ගලයන් වන අතර ඔවුන් සෑම දෙනාම පාහේ ශලයකර්මය සදහා මුදල් සපයා ගන්නේ ජනාධිපති අරමුදලට ඉල්ලුම් කිරීමෙන් වන අතර අනෙකුත් මුදල් අවශ්‍යතාවයන් සපයා ගැනීමට ඔවුන් ටිකට් පොත් ගසා විකිණීමද දැකිය හැකිය. එම නිසා අවයව බද්ධ කිරීමේ අයිතිය ජයවර්ධනපුර රෝහලෙන් ඉවත්කිරීමට ඉල්ලීම තරම් අනුවන ඉල්ලීමක් තවත් නැත.
එලෙසම පෙබරවාරි 18 වනදා සිදුවන්නේ මොළය මියගිය විට අවයව දන්දීම පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව අබේසේකර මහතා නොදන්නාවා විට හැක. ඔහු ඒ පිළිබදව දන්නාවානම් මෙවැනි බිදහෙලීමටවත් තර්ක නැති ප්‍රකාශයන් ඉදිරිපත් කරන්නේ නැත. යම් කිසි පුද්ගලයෙකු හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා ඔහුගේ හෝ ඇයගේ මොළය මියගිය අවස්ථාවන් වලදී එම පුද්ගලයාගේ අවයව තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීමේ හැකියාව ඇත. එසේ බද්ධ කිරීමෙන් අවම වශයෙන් ජිවිත 8ක් බේරා ගැනීමට අවස්ථාව හිමිවේ. නමුත් මේ මහතා චෝදනා කරන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව බද්ධ කිරීම සදහා මුදල් ගෙවීමක් සිදුවන්නේ කෙසේදැයි මම නොදනිමි. තමන්ගේ ආදරණීයයෙකු මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් අවස්ථවන් වලදී ඔහුගේ හෝ ඇයගේ අවයව දන්දීමට කැමැත්ත පලකිරීමෙන් පවුලේ සාමාජිකයන් කරන්නේ වචනයෙන් විස්තර කල නොහැකි ආකාරයේ කැපකිරීමක් වන අතරම වචනයෙන් විස්තර කල නොහැකි අකාරයේ පුන්යකර්මයකි. එවැනි මහා පුන්‍යකර්මයක් සදහා මුදල් ගෑවෙන බව පවසන්නට ඒ මහතාට හැකිවුයේ මේ පිලබදව හැගීමක් හෝ අත්දැකීමක් ඒ මහතාට නොමැති නිසාවෙන් බවනම් පැහැදිලිය. එසේ අවයවයක් හෝ අවයවයන් ලැබුණ අවස්ථාවන් වල දිවයින පුරා ක්‍රියාත්මක ජාලයක් හරහා එම අවයවයට ගැලපෙන රෝගියා පිලිබදව පරික්ෂා කෙරෙන අතර හැකි ඉක්මණින් එම අවයවයන් බද්ධ කිරීම සිදුවේ. මෙවැනි ශල්‍යකර්මයන් ප්‍රධාන වශයෙන් මලිගාවත්ත වකුගඩු රෝහල,මහනුවර රෝහල,ජයවර්ධනපුර රෝහල,අනුරාධපුරය රෝහල,කරාපිටිය රෝහල හා ජාතික රෝහල වැනි රෝහල්වල සිදුකරයි.
මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකල රෝගියෙකු ලෙස මට අබේසේකර මහතාට මෙන්ම මෙවැනි ලිපියක් පලවීම පිටුපස සිටින වෛද්‍යවරුන් යැයි කියාගන්නා පිරිසට හා අනෙකුත් සියළුම දෙනාට පැවසීමට ඇත්තේ ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශණික වන බව පමණි.වෛද්‍යවරුන් යැයි කියාගන්නා අතලොස්සක් විසින් මෙම ගෙන යන අසත්‍ය ප්රචාරයන්ට ගැලපෙනම පිලිතුර එළඹෙන 18 වනදා ලැබෙනු ඇති. මෙම අමිල වැඩසටහනේ වටිනාකම අඩුකරන්නට මෙන්ම ජයවර්ධනපුර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ පිරිස විසින් මේ සදහා වන මහන්සිය හෑල්ලුවට ලක්කිරීමට තමන්ගේ පුද්ගලික කුහකකම් හෝ වෘතීමය කුහකකම් යොදා නොගන්නා ලෙසත් අදාල වෛද්‍යවරුන් ඇතුළු පිරිසගෙන් ගෞරවයෙන් ඉල්ලීමට කැමැත්තෙමි.
ජීවිතයේ එක්වරක් හෝ අවයව ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ජීවිතයත් මරණයත් අතර ජීවත්වන රෝගීන්ගේ අත්දැකීම් බෙදාගන්නට හැකි අවස්ථාවන් වලදී කටයුතු කරන ලෙසත් එතුමාගෙන් හා එම කඩාකප්පල්කාරී කඩයෙන් ඉල්ලීමට කැමති අතර ජීවත්වීමට තවත් එක් දවසක් අයදින අහිංසක ජීවිත බේරා ගැනීමට කටයුතු යෙදෙන මෙවැනි උතුම් ක්රියාපිලිවෙල් නිර්ධය විවේචනයට ලක්නොකරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
එසේනම් මෙවැනි අසත්‍ය තොරතුරු පතුරන වෙහෙසවූ ඔබ සියළු දෙනාම එන්න පෙබරවාරි 18 වනදාට ජයවර්ධනපුර රෝහලට,පැමිණ ඔබගේ අවයවද දන්දීමට ලියාපදිංචි වන්න.. එහිදී ඔබට අහිමිවී ගිය ඔබගේම ආත්ම අභිමානය ඔබට මුණගැසෙනු නියතය.
චින්තිකා මිතිලායා..