රුධිර කාන්දුකරණයේ ඉතිහාසය

රුධිර කාන්දුකරණයේ පියා වශයෙන් හැදින්වෙන Dr. Willem Kolff

රුධිර කාන්දුකරණයේ එහෙමත් නැතිනම් dialysis හි පියා වශයෙන් සැලකෙන්නේ Dr. Willem Kolff මහතායි.

කෘතිම වකුගඩුවක් එහෙමත් නැතිනම් රුධිර කාන්දුකරන උපකරණයක් නිර්මාණය කිරීම සදහා වෛද්‍ය Kolffගේ ගමන ආරම්භ වන්නේ වසර 1930දී පමණ ඔහු නෙදර්ලන්තයේ Groningen රෝහලේ සේවය කරන අවධියේයි.එක්දිනක් ඔහු සේවය කරන වාට්ටුවේදී තරුණයෙකු වකුගඩු අකර්මන්‍ය වීම නිසා ඉතාමත් වේදනාත්මක ලෙස ජීවියෙන් සමුගන්නවා ඔහු දකිනවා. ඒ අවස්ථාවේදී ඔහු තීරණය කරනවා වකුගඩවක කාර්ය කෘතිමව කරන්න පුළුවන් උපකරණයක් නිර්මාණය කල යුතුයි කියල. නමුත් ඔහුට එ් සදහා ක්‍රියාත්මක වෙන්නට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. ඒ කාලවකවානුවේදීම දෙවන ලෝක යුද්ධයේ පුපුරායාම සිදුවන අතර නාසිවාදීන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග වෛද්‍ය Kolff වෙනත් ලන්දේසි රෝහලක් වෙත මාරු කර යැවෙනවා.

කෙසේ හෝ තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට කටයුතු කරන වෛද්‍ය Kolff සිය උපකරණය සෑදීම සදහා අවශ්‍ය කරන ද්‍රව්‍යයන් හිගවූවත් සොසේජස් සම්,පලතුරු යුෂ කෑන්,රෙදි සෝදන යන්ත්‍රවල කොටස් යොදා ගනිමින් රුධිරයේ ඇති අහිතකර ද්‍රව්‍ය රුධිරයෙන් ඉවත් කිරීමට හැකි උපකරණයක් සෑදීමට මුලපුරනවා.

1943 පමණ වන විට වෛද්‍ය Kolff විසින් නිපදවූ උපකරණය අසම්පූරණ වූවත් යම්කිසි සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. ඉන්පසු වසර 2ක කාලය තුල ඔහු වකුගඩු අකර්මන්‍ය වූ රොගීන් 16 දෙනෙකුට එම උපකරණයෙන් ප්‍රතිකාර කරන නමුත් ඒ හරහා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. වසර 1945දී සිය උපකරණය තවත් වැඩිදියුණු කල වෛද්‍ය Kolff වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙන් කෝමා තත්වයේ සිටි 67 හැවිරිදි කාන්තාවකට පැය 11ක් තිස්සේ සිය රුධිර කාන්දුකරණය සිදුකරන අතර ඒ හේතුවෙන් ඇය කෝමා තත්වයෙන් පියවි සිහියට පැමිණෙනවා. ඉන්පසු ඇය තවත් අවුරුද 7ක් ජීවත් වූ බව වාර්තා වල සදහන්.

ඉන් වසර කිහිපයකට පසු වෛද්‍ය Kolff විසින් නිර්මාණය කල කෘතිම වකුගඩුව ඔහු රෝහල් කිහියකට බෙදා දුන්නා.

වසර 1950 පමණ වන වෛද්‍ය Kolff ගේ මෙම නිර්මාණයට කෙටි කාලීන වකුගඩු අකර්මන්‍යවීමට(acute renal failure) පිළිතුරක් සපයන්නට හැකියාව ලැබුණා. නමුත් දීර්ඝ කාලීන වකුගඩු අකරණි තත්වයට(chronic Kidney disease) පිළිතුරක් සෙවීමට වෛද්‍ය Kolffගේ උපකරණයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

20වන සියවස පමණ වන විට ඇමරිකානු වෛද්‍යවරුන් ඇතුළුව බොහෝ වෛද්‍යවරුන්ගේ විශ්වාසය වුනේ වකුගඩු අකරණිය ඇති රෝගීන්ට දීර්ඝකාලීනව රුධිරකාන්දුකරණය සිදුකල නොහැකි බවයි. එම වකවානුව තුල ඔවුන්ගේ විශ්වාසය වූයේ මිනිසා විසින් නිශ්පාදනය කල උපකරණයකට වකුගඩුවක් මගින් ඉටු කරන සියළුම කාර්යයන් ඉටු කල නොහැකි බවයි.

ඉන් පසුව තමයි Belding Scribner නම් තරුණ වෛද්‍යවරයෙක් විසින් ඩයලයිසිස් උපකරණයට රෝගියාව ධමනි හා ශිරා ලට ඇතුලත් කල කුඩා බට මගින් සම්බන්ද කිරීම පිලිබදව මුල්ම අදහස ගෙන එන්නේ.ඒ හේතුවෙන් රෝගියා රුධිර කාන්දුකරණය සිදුකරන වාරයක් පාසා රෝගියාට ඇළුතින් කැතීටර් සවි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. එකම විවරයක් හරහා අවශ්‍ය අවස්ථාවන් වලදී රුධිරකාන්දුකරණය කිරීමේ අවස්ථාව එමගින් හිමි වනවා.

ඉන්පසු වසර 1962 දී වෛද්‍ය Scribner විසින් රෝහලින් පිටත ප්‍රථම රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය පිහිටුවනු ලබනවා. පසු කාලීනව වෛද්‍ය Scribner විසින් රෝගීන්ට නිවසේදීම භාවිතා කල හැකි කුඩා රුධිර කාන්දුකරණ උපකරණ නිපදවීම ආරම්භ කරනවා.

ඒ විදියට ආරම්භ වුන රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය තමයි අද වෙද්දි වෙනත් වෙනස්කම් වලට භාජනය වෙල වකුගඩු රෝගීන්ගේ ජීවිතය සුරකින ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ලොව ප්‍රචලිත වෙලා තියෙන්නේ.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …