වකුගඩු රෝගී විය හැකි ප්‍රධාන ආකාර 03 ගැන දැනගනිමු

වකුගඩු රෝග හට ගන්නා ප්‍රධාන හේතු 03කි.

  1. වකුගඩු වලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම
  2. වකුගඩු වල ව්‍යුහයට හානි සිදුවීම
  3. මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇතිවීම

වකුගඩු වලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම විසා ඇති වන වකුගඩු රෝග

අධික රුධිර වහනය,විජලනය,පාචනය,අධික වමනය,ආසාදන තත්ත්ව (sepsis) වැනි හේතු නිසා වකුගඩුවලට රුධිර සැපයුම අඩාල වේ. අධික රුධිර පීඩනය,දියවැඩියාව ,වේදනා නාශක ඖෂධ වර්ග මෙම තත්ත්වය තීව්‍ර කරයි. බොහෝ විට වකුගඩු අකර්මන්‍ය වීම තාවකාලික වන අතර නොබෝ දිනකින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය යළි යථා තත්ත්වයට පත්වේ.

ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය කිරීම,අධි රුධිර පීඩනය සදහා ලබාගත් ඖෂධ තාවකාලිකව නැවැත්වීම සහ වකුගඩු වලට හානිකර වේදනා නාශක ඖෂධ  භාවිතා නොකිරීම මගින් වකුගඩු වලට සිදුවන හානිය අවම කර ගත හැකිය. මෙහිදී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය වේ.

වකුගඩු වල ව්‍යුහයට හානි සිදුවීම නිසා ඇති වන වකුගඩු රෝග

තාවකාලිකව හා දීර්ඝකාලීනව මෙම හානි සිදුවේ. මුත්‍රා ආසාදන, සර්ප විෂ, ඖෂධ, මී උණ,වස විස පානය, තාවකාලිකව වකුගඩු ව්‍යුහයට සිදුවන හානි වීමට හේතු අතර ප්‍රමුඛ ස්ථාන ගනියි. ඉක්මණින් වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය කරුණකි. ඉක්මණින් ප්‍රතිකාර ලබාදීමෙන් මෙම තත්ත්වය නිට්ටාවටම සුවකර ගත හැකිය.

වකුගඩු ව්‍යුහයට දීර්ඝකාලීනව හානි සිදුවීම දිගුකාලීන වකුගඩු අකර්මන්‍ය වීමට හේතුවේ. (Chronic Kidney disease – CKD)

දියවැඩියාව, අධි රුධිර පීඩනය මේ අතරින් ප්‍රමුඛ ස්ථාන ගනී. දියවැඩියාව හා අධිරුධිර පීඩනය ඇති රෝගීන් මුල සිටම වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළි පැදීම සහ ඖෂධ නියම ආකාරයෙන් පිළි පැදීම මෙම තත්ත්වය අවම කර ගැනීමට හේතු වේ. මීට අමතරව දිගින් දිගට ඇති වන මුත්‍රා ආසාදන, මුත්‍රා ගල් ඇතිවීම, වකුගඩු ආසාත්මිකතාවයන් දිගු කාලීන වකුගඩු අකර්මන්‍ය ඇති වීමේ අනෙක් හේතූන් ලෙස හදුන්වා දිය හැක.

මුත්‍රා මාර්ගයේ අවහිරතාවයන් නිසා ඇති වන වකුගඩු රෝග

පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීම, මුත්‍රා ගල්,මුත්‍රා මාර්ග පද්ධතියේ ඇති වන පිළිකා තත්ත්වයන් මගින් මෙම තත්ත්වය ඇති වේ. කොන්ද සහ බඩ කැක්කුම, මුත්‍රා හරි හැටි පිට නොවීම, ප්‍රධාන රෝග ලක්ෂන වේ.

මෙම රෝග ලක්ෂණ ඇතිනම් වෛද්‍යවරුයෙකු හමුවී ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ. බොහෝ අවස්ථා වලදී මෙම රෝගී තත්වයන් නිට්ටාවටම සුව කර ගත හැකිය.

 

 

වෛද්‍ය නාලක හේරත්
වකුගඩු රෝග පිලිබදව විශේෂඥ වෛද්‍ය
කරාපිටිය ශික්ෂණ රෝහල
(වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ප්‍රකාශිත ග්‍රන්ථයකින් උපුටා ගන්නා ලදී)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …