කොන්දේ සිට කකුල් දිගේ පැතිරෙන වේදනාව – Sciatica

අපේ මැදි වයසේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක්, එහෙමත් නැතිනම් වේදනාවක් ගැන කථා කරන්න තමයි අද මේ පිලියෙන් අපි සූදානම් වෙන්නේ.

අපි ගොඩ දෙනෙක් අහළ තියෙනවා,කොන්දේ එහෙමත් නැතිනම් තුනටියේ ඉදන් කකුල් දිගේ කැක්කුමක් යනවා කියල අපේ අම්මල ගොඩක් වෙලාවට කියනවා. අන්න ඒ වේදනාව තමයි අද අපේ මාතෘකාව. මේ වගේ වේදනාවක් ඇති වෙන්න හේතුව ගැන අද අපි කථා කරමු.

මේ තත්වය හදුන්වන්නේ Sciatica කියන නමින්.සරලවම Sciatica කියල කියන්නේ sciatic nerve (ස්ඓච ස්නායුව) දිගේ විහිදෙන වේදනාවකට.මේ sciatic nerve එක අපේ කොන්ද ප්‍රදේශයේ ඉදන් කළවා,ඉන ප්‍රදේශය හරහා කකුල් වලට විහිදෙනවා. ඒ නිසා Sciatica තත්වයේදී ඒ ඇතිවන වේදනාව විහිදෙන්නේ ඒ මාර්ගය ඔස්සේමයි.

Sciaticaතත් වය ඇති වෙන්නේ අපේ කොදුඇට පෙලේ තද ගතියක්,සම්පීඩනය වීමක් වැනි හේතූන් නිසා sciatic nerve එක පීඩනයකට ලක්වීම නිසයි. මේ නිසා මේ වේදනාව පැතිර යන පාදයේ වේදනාව,හිරිවැටීම වගේම ප්‍රදාහමය (ඉදිමීම,රතුවීම) තත්වයක් ඇති වෙන්නත් පුළුවන්.

Sciatica ඇතිවීමට හේතු

මේ තත්වය ඇතිවෙන්නේ sciatic nerve එක යම් ආකාරයකින් තෙරපීමට ලක්වීම හේතුවෙනුයි. කොදුඇට ආශ්‍රිතව ඇතිවෙන තත්වයක් නිසා බොහෝවිට මේ ස්නායුව තෙරපීමට ලක්වෙන්න පුළුවන්.උදාහරණයක් වශයෙන් අපේ කොදුඇටයක අනවශ්‍ය කොටසක් වර්ධනය වී ඒ කොටස මගින් sciatic nerve තෙරපීමකට ලක්වනවානම් මෙවැනි තත්වයක් ඇතිවනවා.

එහෙමත් නැතිනම් ඇතැම් අවස්ථාවලදී කොදුඇට පෙළ ආශ්‍රිතව ඇතිවන ” ගෙඩියක්” ( Tumor) වගේ තත්වයකදීත්,දියවැඩියාව තත්වයකදීත් මේ Sciatica තත්වය ඇති වෙන්න පුළුවන්.

ඊට අමතරව …

  • වයස
  • අධික තරබාරුකම
  • රැකියාව – බර ඔසවන රැකියා,වැඩ වෙලාවක් රිය පදවන රැකියා වැනි රැකියා sciatica ඇතිවීමේ අවදානම වැඩි කරන්න හේතුවනවා
  • වැඩි කාලයක් ඉදගෙන සිටීම – වැඩි වේලාවක් ඉදගෙන සිටින,ක්‍රියාශීලී නොවන ජීවන රටාවක් පවත්වාගෙන යන අයටත් sciatica ඇතිවීමේ වැඩි අවස්ථාවක් තියෙනවා.
  • දියවැඩියාව – දියවැඩියාව මගින් ස්නායු වලට හානි සිදුවිය හකි බැවින් sciatica තත්වයටත් දියවැඩියාව හේතු වෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ

මෙම තත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ කොදුඇට පෙලේ පහල සිට තට්ටම් හා කළවා හරහා කකුල් ඔස්සේ විහිදෙන වේදනාව. ඇතැම් විට sciatic nerve මගින් ස්නායු සැපයුම ලබාදෙන සිරුරේ ඕනෑම තැනක වේදනාව ඇති වෙන්න පුළුවන්.නමුත් බහුලම තත්වය තමයි කකුල් ඔස්සේ විහිදෙන වේදනාවක් ඇති වීම.

මෙහිදී ඇති වන වේදනාව සුලු වේදනාවක සිට අධික වේදනාවක් දක්වා පරාසයක දැනෙන්න පුළුවන්. ඇතැම් විට අපි කටවහරෙන් කියන විදියට කරන්ට් වදිනව වගේ වේදනාවක් දැනෙන්නත් පුළුවන්. මේ වේදනාව අපි කහින,කිවිසුම්යන අවස්ථාවක වැඩි වෙන්න පුළුවන්. ඒ වාගේමයි වැඩි වේලාවක් ඉදගෙන ඉද්දිත් වේදනාව වැඩියි.හිරිවැටීම,මාංශපේශීන් දුර්වල වීම වගේ ලක්ෂණත් ඇති වනවා.

මේ වේදනාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි බොහෝ අවස්ථාවලදී මේ වෙදනාව ශරීරයේ එක් පැත්තක විතරක් ඇති වීම.

sciatica තත්වය ඇතිවුන සමහර දෙනෙක්ට කාලයත් එක්ක සම්පූර්ණ සුවයක් බාගන්න පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී ස්නායු වලට ස්ථීර හානියක් සිදුවෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී

  • වේදනාව ඇතිවූ පාදයේ සංවේදනය අහිමිවීම
  • වේදනාව ඇතිවන පාදය දුර්වල වීම
  • බඩවැල් වල හා මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම හෝ අහිමිවීම වගේ එදිනෙදා ජීවිතයට වඩා බලපෑමක් කරන ආබාධ තත්වයනුත් ඇති වෙන්න පුළුවන්.

sciatica තත්වයට ප්‍රතිකාර කිරීමට පෙර එම තත්වය නිවැරදිව හදුනාගත යුතුයි. එසේ හදුනාගැනීමේදී ඔබගේ වෛද්‍යවරයා විසින් විවිධ පරීක්ෂණ සිදුකරනු ඇත.ශාරීරිකව සිදුකරන පරීක්ෂණ වලට අමතරව Xray,MRI,CT වැනි ස්කෑන් වර්ගත් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කිරීම සිදුවේ.

ප්‍රතිකාර

මෙම වේදනාව පාලනය කරගැනීමට හෝ වලක්වාගැනීමට සදහා වෛද්‍යවරුන් විසින් ඔබට එදිනෙදා ජීවිතයේදී වෙනස් කර ගත යුතු දේ පිළිබදව දැනුවත් කරනවා. නිවැරදි ඉරියව්වෙන් වාඩි වී සිටීම, නිවැරදි ව්‍යායාම කිරීම, එදිනෙදා වැඩකටයුතු කිරීමේදී නිවැරදි ඉරියව් භාවිතා කිරීම වැනි දේ ඒ අතරින් විශේෂයි.

ඒ දෙවල් අනුගමනය කිරීමෙනුත් වේදනාව පාලනය වීමක් සිදුනොවන්නේ නම් වෙනත් ප්‍රතිකාර ක්‍රම සදහා යොමුවීමට වෛද්‍යවරුන් තීරණය කරනවා.

  • Anti-inflammatories (ප්‍රති ප්‍රදාහමය ඖෂධ)
  • Muscle relaxants
  • Narcotics
  • Tricyclic antidepressants
  • Anti-seizure medications

මේ වර්ගවල ඖෂධ මගින් ඔබගේ Sciatica තත්වය පාලනය කිරීමෙන් අනතුරුව භෞතචිකිත්සකවරයා විසින් විවිධ ව්‍යායාම හා ක්‍රම භාවිතා කරමින් ඔබගේ ඉරියව් නිවැරදි කිරීමටත්, කොන්ද ප්‍රදේශයේ මංශපේශීන් ශක්තිමත් කිරීම සදහා ව්‍යායාමත් ඔබට නිර්දේශ කිරීම බොහෝවිට සිදුවෙයි.

එසේත් නොමැතිනම්….

  • Steroid injections
  • ශල්‍යකර්ම කියන විකල්ප ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වෙන්න පුළුවන්.

Steroid injections ලබාගැනීමේදී, වේදනාව හටගෙන ඇති ස්නායුව ආශ්‍රිත ප්‍රදේශයට මෙම එන්නත් කිරීම සිදුකරනවා. මෙමගින් මාස කිහිපයකට වේදනාවේ යම් පාලනයක් සිදුවූවත් දීර්ඝකාලීනව,දිගින් දිගටම මෙම එන්නත් ලබාගැනීම නුසුදුසුයි. එයට හේතු වන්නේ මෙසේ එන්නත් කිරීමට භාවිතා කරන corticosteroid යනු අතුරු ආබාධ වැඩි ඖෂධ වර්ගයක් වීමයි.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …