කිරි ආශ්‍රිත නිශ්පාදන වකුගඩු වලට බලපාන්නේ කෙසේද?

වයස් භේදයකින් තොරව කිරි ආශ්‍රිත නිශ්පාදන ඒ කියන්නේ කිරි.චීස් වර්ග,යෝගට්,පුඩින් වර්ග, අයිස් ක්‍රීම් වර්ග වැනි දේවල් අපි කවුරුත් ආහාරයට ගන්නා කැමැත්තක් දක්වන දේවල්. මෙම කිරි ආශ්‍රිත නිශ්පාදන සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ,විටමින් බී,කැල්සියම්,පොස්පරස් සහ පොටෑසියම් යන සංඝටක වලින් පරිපූර්ණයි. ඒ වාගේම ඒ සෑම සංඝටකයක්ම අපගේ සිරුරේ ක්‍රියාතාරිත්වය සදහා ඉතාමත් වැදගත් වනවා.

අපි සෑම ලිපියකම පාහේ දක්වන ආකාරයට වකුගඩු ලින් තමයි සිරුරේ ජල ප්‍රමාණය පාලනය,විශ ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම,වැනි කාර්යයන් සිදුවන්නේ. ඒ නිසාම වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩු වූ යම් පුද්ගලයෙකු ඉහත සදහන් කර කිරි ආශ්‍රිත නිශ්පාදන තමන්ගේ ආහාරයට එක්කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණ කිහිපයක් මේ ආකාරයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි සිතුවා. එම විශේෂිත කරුණු විවිධ සංඝටකයන් අනුව පහත පරිදි සාකච්ඡා කරමු.

ප්‍රෝටීන්

කිරි නිශ්පාදන කියන්නේ ප්‍රෝටීන බහුල ආහාර වර්ගයක්. අපගේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට,අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ගේ යහපත් පැවැත්මට හා තුවාල සුවවීමට මෙන්ම විශබීජ ආසාදන වලට එරෙහිව සටන් කිරීමටත් ප්‍රෝටීන් අපට වැදගත් වනවා.

නමුත් වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩුවීම හේතුවෙන් යම් කාලයකට පසු ඔබගේ වෛද්‍යවරුන් විසින් ඔබට ප්‍රෝටීන් ලබාගැනීම සීම කරන්න යැයි නිර්දේශ කලහොත් ඒ සම්බන්දයෙන් කටයුතු කල යුතුමයි. එලෙස ප්‍රෝටීන් සීමා කිරීමේදී මස්,මාළුත,බිත්තර,කිරි හා ආශ්‍රිත නිශ්පාදන, සීමා කරනවා නේම මාංශමය නොවන ප්‍රෝටීන් බහුල ආහාර වන විවිධ ඇට වර්ග,සෝයා ඇට ,සොයා කිරි වැනි ආහාර ගැනත් සැලකිලිමත් විය යුතුයි. මෙලෙස මාංශමය නොවන ප්‍රෝටීන්  බහුල ආහාර බොහෝමයක් පොටෑසියම්,පොස්පරස් වැනි සංඝටක වලින්ද පරිපූර්ණ නිසා ඒවා සම්බන්දයෙන් තවත් සැලකිලිමත් විය යුතුයි.

කැලසියම්

අපේ ආහාර වල ප්‍රධාන කැල්සියම් මුලාශ්‍රය වන්නේ මෙම කිරි ආශ්‍රිත නිශ්පාදනයි. කැල්සියම් අපගේ අස්ථි හා දත් ශක්තිමත් කිරීමට වාගේම මාංශපේශීන් සංකෝචනය කිරීමට, ලේ කැටි ගැසීමේ ඇතැම්  අවස්ථාවන් වලට මෙන්ම ස්නායුවල ක්‍රියාකාරිත්වය සදහාත් වැදගත් වනවා.

වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩුවූ විට කිරි ආශ්‍රිත නිශ්පාදන සීමා කිරීම හරහා අපට ලැබෙන කැල්සියම් ප්‍රමාණයත් සීමා වන නිසා සිරුරේ කැල්සියම් අවශ්‍යතාවය ලබාගැනීමට වෛද්‍යවරුන් විසින් කැල්සියම් අඩංගු විවිධ ඖෂධ වර්ග ඔබට ලබාදෙනු ඇති. ඔබගේ තත්වය අනුව ඔබට අවශය කැල්සියම් ප්‍රමාණය හා ඖෂධ වර්ගය ඔබගේ පෝෂණවේදියා හා වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.

පොස්පරස්

අප සිරුරේ අස්ථි හා දත් වල ශක්තිමත්භාවයට මෙන්ම ඒවා ගොඩනැගීමටත් වැදගත් වන තවත් සංඝටකයක් තමයි පොස්පරස් කියන්නේ. ඒ වාගේම සිරුර තුල කාබොහයිඩ්‍රේ හා මේද දහනය කොට ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සදහාද පොස්පරස් විශේෂයෙන්ම වැදගත් වනවා. සිරුර තුල ඉතිරිවන පොස්පරස් ප්‍රමාණයන් ශරීරයෙන් ඉවත් වන්නේ වකුගඩු මගින් නිසා වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩුවූ විට පොස්පරස් අඩංගු ආහාර සීමා කල යුතුමයි.

වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩු වීමත් සමග අප ගන්නා පොස්පරස් ප්‍රමාණය අඩු නොවීමෙන් සිරුර තුල අතිරික්ත පොසපරස් ප්‍රමාණයන් එක්වීම නිසා අස්ථි වලින් කැල්සියම් අඩුවීම මගින් අස්ථි දුර්වල වීම හා පහසුවෙන් කැඩෙන තත්වයට පත්වීම සිදුවන්නට පුළුවන්. ඒ වාගේම සම කැසීම වැනි තත්වයන් ඇති වන්නටත් පුළුවන්.
මේ සදහා ඇතැම් විට පොස්පේට් බැදගැනීමේ හැකියාව (phosphate binders ) ඇති ඖෂධ ලබාදීම මගින්වැඩි පොස්පරස් ප්‍රමාණයන ශරීරයෙන් ඉවත් කිරීම සිදුකරනවා. එවැනි ඖෂධ භාවිතා කරන්නේ නම් එම පොස්පරස් අපේ මළපහ හරහා ශරීරයෙන් ඉවත් වනවා.

පොටෑසියම්

සියළුම පාහේ කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ මෙන්ම ඇතැම් පළතුරු,එළවළු,චොකලට්,ඇට වර්ග වැනි දේවල් වලත් පොටෑසියම් බහුලව පවතිනවා. මංශපේෂීන් සංකෝචනයට මෙන්ම හදවතේ රිද්මය පාලනය කිරීම සදහාත් පොටෑසියම් බලපෑම් ඇතිකරනවා.

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුවීමත් සමග සිරුර තුල පොටෑසියම් එකතුවීමෙන් හදවත ආශ්‍රිත ප්‍රශ්ණ වාගේම මාංශපේශීන් වල ගැටළුද ඇති වීම සිදුවනවා. පොස්පරස් සිරුරෙන් ඉවත් කිරීමට පොස්පරස් බැදගැනීමේ හැකියාව ඇති ඖෂධ ප්‍රතිකාර වශයෙන් ලබාදුන්නත් පොටෑසියම් සදහා එවැනි ඖෂධ ලබාදෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ පොටෑසියම් බැදගැනීමේ හැකියාව ඇති ඖෂධ මගින් මලබද්ධය හා විජලනය ඇති කිරීමයි.එම නිසාම වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩුවූ පුද්ගලයන් ශරීරයට ලැබෙන පොටෑසියම් ප්‍රමාණය පාලනය කිරීම සදහා කිරි ආශ්‍රිත නිෂ්පාදන සීමා කල යුතු සේම අනෙකුත් පොටෑසියම් බහුල ආහාර වර්ගද පාලනය කල යුතුයි.

බී විටමින්

අපගන්නා ආහාර වලින් සිරුර තුල ශක්තිය නිපදවීමට සහ සෛප හා පටක වල නිරෝගී භාවය පවත්වා ගැනීමට වැදගත් වන විටමින් වලින් එක් කාණ්ඩායක් බී විටමින් ලෙස හදුන්වන්නට පුළුවන්. විටින් බී 12,තයමින් හා රයිබොෆ්ලේවින් වැනි විටමින් බී වර්ගයේ විටමින කිරි ආශ්‍රිත නිශ්පාදනවල බහුලව අන්තර්ගතයි.

එ නිසාම වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවීමත් සමග කිරි ආශ්‍රිත නිෂ්පාදන ලබාගැනීමද සීමා වන බැවින් වෛද්‍යවරුන් විසින් ඔගේ අවශ්‍යතාවය මත විටමින් අඩංගු අතිරේකයක් ලබාදෙනු ඇති. එලෙසම අවශය විටමින් වර්ග ආහාරයට එක්කරගන්නා ආකාරය පිලිබදව ඔබගේ පෝෂණවේදිනය සමග සාකච්ඡා කල යුතුයි.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …