ඩයලයිසිස් කරන විට හදවත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්ද?

 

වකුගඩු රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙක් මුහුණ දෙන තවත් රෝගී තත්වයක් වශයෙන් හෘදය ආශ්‍රිත රෝග හදුන්වාදෙන්නට පුළුවන්.බොහෝ අවස්ථාවන් වලදී වකුගඩු රෝගීන් ජීවිතක්ෂයට පත්වන්නේ වකුගඩු රෝගයටත් වඩා හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් බව වකුගඩු රෝගය ආශ්‍රිතව අත්දැකීම් ඇති බොහෝ දෙනෙක් දැනුවත් කරුණක්.නමුත් හෘදය හා රුධිර නාල වඩාත් නිරෝගීව තබාගැනීමට සිදුකල හැකි ක්‍රියාවලීන් බොහෝමයක් පවතිනවා. ඒ වාගේම දැනටමත් හෘද රෝගයක් පවතීනම් එහි තත්වය දරුණු අතට හැරීම මගහරවා ගැනීමටත් කටයුතු කල හැකියි.

හදවත් රෝගයක් කියන්නේ මොකක්ද?

හදවත හා රුධිර නාල වලට බලපෑම් ඇති කරන රෝගී තත්වයක්,සරලවම හදවත් රෝගයක් ලෙස හදුන්වන්නට පුළුවන්. වෛද්‍යවරුන් මෙම රෝගී තත්වයන් හදුන්වන්නේ ” cardiovascular disease” ලෙස වන අතර Cardio මගින් හදවතද,vascular මගින් රුධිර නාලද වෙන්කර දක්වන්නට පුළුවන්.

මොළය,හදවත,පාද හා පෙනහළු ඇතුළු අපගේ සිරුරේ සියළුම කොටස් වලට ඔක්සිජන් සහිත රුධිර ප්‍රවාහනය කිරීම සිදුවන්නේ අපගේම හෘදය හා රුධිර නාල මගිනුයි.ඒ නිසාම හදවත ආශ්‍රිත රෝගී තත්වයන් පිලිබදව දැඩි අවදානයෙන් සිටිය යුතුයි. බහුලව දක්නට ලැබෙන හදවත් රෝගී තත්වයන් දෙකක් ගැන අපි අවදානය යොමු කරමු.

  • හෘදය අකර්මන්‍යවීම – හදවත් අකර්මන්‍යවීම ලෙස හදුන්වන්නේ ඔබගේ හදවත රුධිරය පොම්පකිරීම නවතා දැමීම නොවෙයි. එයින් අදහස් වන්නේ සිරුරට ප්‍රමාණවත් පරිදි රුධිරය බෙදහැරීමට හෘදයට හා රුධිර නාල වලට නොහැකි බවයි. මේ තත්වය එකවිටම ඇතිවන තත්වයක් නොවෙයි.කාලයක් තිස්සේ හදවතට රුධිර පෝම්පකිරීමේ හැකියාව දුර්වලවීම හෝ රුධිර නාල පටුවීම හෝ අවහිර වීම නිසා මේ තත්වය ඇතිවන්නට පුළුවන්.
  • කිරීටක හෘද රෝග – මෙම තත්වය ඇත්වන්නේ හදවතේම පේශි වෙත රුධිරය ගෙන එන රුධිර නාල ඝණ වී,සිහින්වී හෝ අවහිර වීමෙන් හදවතේ පේෂීන් වෙත ප්‍රමාණවත් පරිදි රුධිරය නොලැබීමෙනුයි. මෙම තත්වයේදී ඇතැම් විට හදවත මගින් නියමිත ආකාරයෙන් රුධිරය පොම්ප කලද රුධිර නාලවල ඇති අවහිරතාවයන් හේතුවෙන් හදවත් පේශීන් වෙත රුධිර  නොලැබෙන්නට පුළුවන්.

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා විට හදවත් ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම ඉහළ යන්නේ ඇයි?

වකුගඩු ආබාධයට අමතරව බොහෝ රෝගීන්ට දියවැඩියාව,අධි රුධිර පීඩනය,රක්තහීනතාවය,රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම හෝ කැල්සියම් පොස්පරස් වැනි ඛනිජ අසමතුලිතතාවයන් පවතිනවා.මෙම සියළුම තත්වයන් නිසා හදවත සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයකින්  වැඩ කිරීමට පෙළඹෙනවා.

මේ ආකාරයෙන් දීර්ඝකාලයක් තිස්සේ හදවත සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර බලයකින් ක්‍රියාත්මක විම නිසා හදවතේ පේශීන් ඝනවන අතර හදවත ප්‍රමාණයෙන් විශාල වීම සිදුවනවා. ඒත් සමගම රුධිරය පොම්ප කිරීමේ හැකියාවද ක්‍රම ක්‍රමයෙන් අඩුවන අතර එමගින් හදවත් අකර්මන්‍ය වීම හෝ මරණය ඇති වන්නට පුළුවන්.

හදවත දුර්වල වීම සදහා ඇති අවදානම වැඩි කරන වෙනත් සාධක මොනවාද?

සිරුරේ අධික බර,දුම්පානය,ප්‍රමාණවත් පරිදි ව්‍යායාම නොකිරීම,වකුගඩු රෝග හෝ හදවත් රෝග සම්බන්දයෙන් වන පවුල් ඉතිහාසය ,වයස වැනි හේතුන් නිසාත් හදවත් දුර්වලවීමේ රෝගී තත්වයන් ඇතිවීමේ අවදානම ඉහළ යනවා.

හදවත් රෝග පිලිබදව දැනගැනීම සදහා සිදුරණ පරීක්ෂන මොනවාද?

  • electrocardiogram (ECG) – හදවතේ ඇති විද්‍යුත් ක්‍රියාවලිය දක්වන සටහනක් අපට ECG මගින් ලැබෙනවා. එමගින් හද ගැස්මේ වේගය, හෝ හෘදය ආශ්‍රිතව ඇතිවී ඇති යම් අසාමාන්‍යතා හදුනාගැනීමට ඔබගේ වෛද්‍යවරයාට හැකියි.
  •  echocardiogram – මෙහිදී සිදුවන්නේ ශබ්ද තරංග හදවත තුලය යවා එමගින් හෘදයේ ප්‍රමාණය,හැඩය,ක්‍රියාකාරිත්වය,රුධිර නාලවල ප්‍රමාණය ,හෘදයේ කුටිර වල ප්‍රමාණය වැනි දේවල් පිලිබදව රූපමය සටහනක් ලබා දීමයි.

ඉහත පරීක්ෂණ වලට අමතරව  පහත සදහන් පරීක්ෂණද සිදුකිරීමට ඇතැම් විට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ඇත.

  • Stress echocardiography – මෙමගින් හෘදය වෙත රුධිර ගෙන එන ධමනි අවහිර වී ඇතිද යන්න පිලිබදව සෙවීම සදහා යොදා ගන්නවා. මෙහිදී සිදුවන්නේ ශාරීරික ව්‍යායාමයක් සිදුකිරීමට පෙර ,සිදුකරන අවස්ථාවේදී මෙන්ම ව්‍යයාමට සිදුකර අවසන් වූ වහාම එකෝ පරීක්ෂණයක් සිදුකිරීමයි.
  • angiogram (හෘදයේ හෝ ධමනි වල x-ray වාර්ථාව ) – මෙමගින් අවහිරතාවයක් ඇතිවී ඇති ස්ථානය හදුනාගැනීමට හැකි අතර ඒමගින් සුදුසුම ප්‍රතිකාරය තීරණය කිරීමටද හැකියාව ලැබේ. මෙහීදී කුඩා කැතීටරයක් ඔබගේ ඔබගේ ධමනියකට ඇතුලත් කරන අතර එමගින් ශරීරයට අහිතකර නොවන ඩයි වර්ගයක් ධමනිය වෙත මුදාහරිනවා. එම ඩයි වර්ගය මගින් හෘදයේ හෝ හෘදයට රුධිරය සපයන ප්‍රධාන ධමනිවල අවහිරතාවයන් හදුනාගැනීමට හැකියාව ලැබෙනවා.

 

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන විට හෘදයේ නිරෝගීභාවය පවත්වාගැනීමට සිදුකල යුත්තේ මොනාද?

ඩයලයිසිස් කිරීේදී එම රෝගීයාව විශේෂිත සෞඛ්‍යමය අවශ්‍යතාවයන් පවතිනවා.එම තත්වයන් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන්නට පුළුවන්. ඔබට අදාල වන නිරෝගී සෞඛ්‍යසම්පන්න වාගේම හදවතට හිතකර ජීවන රටාවක් පවත්වාගන්නා ආකාරය ඔබගේ වෛද්‍යවරුන් විසින් අපට පහදා දේවි.

  • සෞඛ්‍යසම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම
  • ව්‍යායාම කිරීම
  • රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය හා රුධිර පීඩනය පාලනය කරගැනීම
  • කැල්සියම් හා පොස්පරස් ප්‍රමාණයන් සමතුලිතව පවත්වාගැනීම
  • ඔබට දියවැඩියාව පවතීනම්,රුධිරයේ සීනි මට්ටම පාලනය
  • රක්තහීනතාවය පවතීනම් ඒ සදහා සුදුසු ප්‍රතිකාර ලබාගන්න
  • දුම්බීම නවත්වන්න
  • මානසික පීඩනය පාලනය කරගන්න
  • ශරීරයේ බර පාලනය

මෙවැනි සෞඛ්‍යසම්පන්න පුරුදු අනුගමනය කිරීම මගින් අනවශ්‍ය හදවත් රෝග සුවකර ගැනීමට හැකියාව පවතිනවා.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …