අපගේ ජීවිත කාලය පුරාවටම විවිධ අවස්ථාවන් වල විවිධ සිදුවීම් නිසා විවිධාකාරයේ මානසික ආතතීන්ට මුහුණ දෙන්නට අපට සිදුවනවා. බොහෝ අවස්ථාවන් වල අපටම එම ආතතීන් වලින් මිදීමට හැකි වූවත් ඇතැම් අවස්ථාවන් වලදී ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවෙන්නත් පුළුවන්.
බොහෝ විට සුව කලනොහැකි අසාධ්‍ය රෝගී තත්වයන් වන පිළිකා,හෘද රෝග වකුගඩු රෝග වැනි රෝගී තත්වයන් වැලදුන අවස්ථාවන් වලදී රෝගීන් විසින් මුහුණදෙන අාතතිය ටිකක් බරපතල වෙන්න පුළුවන්. ඒ වාගේම මානසික ආතතිය කිසි විටකත් රෝගී තත්වයන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ නම් නැහැ. ඒ නිසාම රෝගී තත්වය නිසා මෙන්ම එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන සිදුවීම් නිසා ඇති වන්නාවූ සිදුවීම් නිසා ඇති වන මානසික ප්‍රශ්ණත් පාලනය කරගැනීමේ ඇති වැදගත්කම පිලිබදව අපි සොයා බලමු. මෙහිදී අපි වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ වකුගඩු රෝගී තත්වයන් හා බැදුනු මානසික විෂාදය පිළිබදවයි.
වකුගඩු රෝගය වැනි රෝගී තත්වයන් ඇති වූ විට ඇති වන හැගීම් තේරුම්ගන්නේ කොහොමද?
වකුගඩු රෝගය පමණක් නොවන වෙනත් ඕනෑම රෝගි තත්වයක් වැලදුන විට එය සෘජුවම අපගේ මානසික ත්වයට බලපෑමක් ඇති කරනවා. එසේ ඇතිවන බලපෑමේ ප්‍රමාණය රෝගී තත්වයේ සවභාවය මතවෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසාම රෝගයක් හා සම්බන්දව ඇතිවන මානසික බලපෑම පාලනය කිරීම සදහා මුලින්ම සිදුකලයුතු වන්නේ රෝගය හා මානසික තත්වය අතර ඇති සම්බන්දය තේරුම් ගැනීමයි.
- වකුගඩු රෝගය වගේ දීර්ඝකාලීනව පවතින රෝගී තත්වයක් ඇති විට අනිවාර්යයෙන්ම කලකිරීම, තරහයාම, මානසික පීඩනය වැනි තත්වයන් අැති වනවා. ඒ වාගේම රෝගයත් සමග දිනෙන් දින ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් සමග ජීවිතය පිලිබදව ඝෘණාත්මක ඇත්දැකීම් ගොඩනැගීමට පටන්ගන්නවා. ඒ වාගේම ශරීරය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම්,ප්‍රතිකාර ක්‍රම පිලිබදව අවබෝධයක් නොමැතිවීම හේතුවෙනුත් දිනෙන් දිනම ඔබට මානසිකව කඩාවැටීමට පටන්ගන්නවා.
- වකුගඩු රෝගයත් සමග විශාල පරාසයක ශාරීරික වෙනස්කම් වලට මුහුණදීට ඒ පුද්ගලයාට සිදුවනවා. රෝගී තත්වය නිසා ඇතිවන ශාරීරික අපහසුතාවයන් වන මහන්සිය වැනි තත්වයන්ට අමතරව ලබාගන්නා ඖෂධ නිසාත් ඒවායේ අතුරු ප්‍රථිඵල නිසාත් ඔබව තවතවත් පීඩනයට ලක්වනවා. විශේෂයෙන් ස්ටෙරොයිඩ් ඖෂධ ලබාගැනීමේදී ඔබගේ මුහුණ මහත්වීම,කුරුලෑ ඇති වීම ,ශරීරය මහත්වීම වැනි තත්වයන් ඇති වන නිසා මින් පෙර පැවැති ඔබගේ මුහුණ හා ශරීරයේ වෙනස්කම් සිදුවනු බව ඔබට කාලයත් සමග තේරුම් යනවා. ඒ නිසාම විශාල මානසික ආතතියකට ඔබ ලක්වනවා.
- මේ රෝගී තත්වය ඔබගේ පුද්ගලික ජීවිතයට පවා විශාල බලපෑමක් සිදුකරනවා. ඒ බොහෝ තත්වයන් අපි කැමති වූවත් නැති වූවත් සිදුකල යුතුම වෙනස්කම් නිසා අපි අසරණ වෙන අවස්ථාවන් බෙහෝමයි. විශේෂයෙන් රෝග ලක්ෂණ වැඩිවන විට නිවසට වී සිටීමට වඩා වෙනත් විකල්පයක් ඔබට නැතිවන තරමටම අපව අසරණ වනවා.
මෙම මානසික තත්වයන් පාලනය කරගැනීමට සිදුකල යුතු හොදම දේ කුමක්ද?
- කථාකරන්න – ඔබට දැනෙන දේ කියන්න පුළුවන් කෙනෙක් සොයාගෙන ඒ දේවල් ගැන ඔහු හෝ ඇය සමග සාකච්ඡා කරන්න. ඒ පුද්ගලයා ඔබගේ මිතුරෙකු,සහෝදරයෙකු,දෙමව්පියන් හෝ වෙනස් ඔබට විශ්වාසවන්න ඕනෑම කෙනෙක් විය හැකියි.
- බෙදාගන්න – ඔබගෙ අත්දැකීම් , ඔබට හිතෙන දේ සෑම දෙයක්ම ඔබට ලග පිරිස් සමග නොපැකිලව බෙදාගන්න. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ප්‍රශ්ණ රැසකට සෑම දෙනාම මුහුණදෙන බව එහිදී ඔබට තේරුම් යාවි.
- ඇතැම් දින ඔබට නරක වෙන්න පුළුවන්,ඒ වාගේම නරක දෙවල් සිදුවෙන්නත් පුළුවන්.ඒ ඇත්දැකීම් වලින් ඔබට තවත් මානසික පීඩනයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසාම නිරන්තරයෙන් ඔබගේ රෝගී තත්වය ,ඉදිරියේදී ඇති විය හැකි සංකූලතාවයන් වැනි දේවල් පිලිබදව අවබෝධයක් ලබාගෙන ඒවා මතක තබාගනිමින් ජීවත් වන්න පුරුදු වන්න. එවිට ඔබට මුහුණ දීමට සිදුවන අසුන්දර අත්දැකීම් රැසකට මුහුණදීමට ඔබට යම් පහසුවක් දැනෙනු අැති. ඒ වාගේම ඔබට යම් ආතත්යක් දැනුන විට ඉන් මිදීමට,පොත් කියවීම,සංගීතය රස විදීම, ව්‍යායාම කිරීම , වැනි විනෝදාංශයක් පවත්වා ගන්න.
- දවස සැලසුම් කරගන්න – රෝගී තත්වයත් සමග ඔබගේ දෛනික වැඩකටයුතු මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර,ඖෂධ ලබාගැනීම වැනි දේවලුත් සැලසුම් කරගන්න. එවිට ඒවා මගහැරීම හෝ වෙනත් ගැටළු ඇති වන්නේ නැහැ.
- ඒ වාගේම මේ වගේ දීර්ඝකාලීන රෝගී තත්වයක් ඇති වූ විට ඔබට මින් පෙර තිබූ ඉලක්ක අතහැරදැමීඹ කිසිවිටතක් සිදුනොකල යුතුයි. එම ඉලක්ක වෙත ලගාවන කාලයේ වෙනසක් සිදුවූවත් අනිවාර්යයෙන්ම ඔබට ඒ ඉලක්ක සෑබෑ කරගැනීමේ අවස්ථාව හිමිවනවා. එමනිසා කිසිම අවස්ථාවක කිසිදු රෝගී තත්වයක් හේතුවෙන් ඔබගේ ජීවිතය අතහැර දමන්නට එපා.
- යම් යම හේතූන් මත ඔබට අත්විදීමට සිදුවන මානසික ආතති තත්වයන් පාලනය කරගැනීමට ඔබට නොහැකි බව වැටහෙන්නේනම් නොපැකිලව මනොවෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.