මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි. මෙම අවයව බද්ධ කිරීම්, කාලයක සිට ලොව පුරා සිදු කෙරෙමින් පවතී.
මරණයට පෙර සිය අවයව දන්දීම සදහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් වසරකට 750-1000ත් අතර ප්රමාණයකගේ අවයව ප්‍රයෝජනයකට ගැනීමකින් තොරව මිහිදන් කෙරෙන බැවින්, මරණයෙන් පසු අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත පළ කිරීමට මහජනතාව වෙත අවස්ථාව සලසා දීම රජයේ වගකීමකි. විශේෂයෙන්ම, මෝටර් රථ හදිසි අනතුරු මොළය මියයාමේ මරණ සිදුවීමට ප්‍රධාන හේතුවක් වන අතර, ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම 2,500කට වැඩි පිරිසක් මෝටර් රථ හදිසි අනතුරු හේතුවෙන් මිය යන බව ගණන් බලා තිබේ. ඒ අනුව, මරණයෙන් පසු අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඕස්ට්‍රේලියාව, ප්‍රංශය හා ලෙබනනය යන රටවල් සිය ජාතික දත්ත පද්ධති යොදා ගනිමින් මෙම කාර්යය සිදු කරන අතර, අන්තර්ජාලය, දුරකථන, කෙටි පණිවිඩ ආදිය මඟින් අවයව දන්දීමේ දත්ත පද්ධතිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථා රැසක් එක්සත් රාජධානිය වැනි රටවල් විසින් සලසා දෙනු ලැබ ඇත.
https://sinhala.news.lk/cabinet-decusions/item/28229-2018-03-27 ඇසුරිණි.
kidneyinfolk To educate people on kidney related issues.