
ලෝකයේ බොහෝ අවස්ථාවලදී වගේම අප රටේත් වකුගඩු රෝග (CKD) වැළඳීමට ප්රධානම හේතුවක් ලෙස දියවැඩියාව (Diabetes) අපිට හදුන්වන්න පුළුවන්. යම් පුද්ගලයෙකුට පාලනයකින් තොරව දීර්ඝකාලයක් තිස්සේ දියවැඩියාව පැවතීම නිසා වකුගඩු වලට හානි සිදුවිය හැකි අතර එම තත්වය (Diabetic Nephropathy) ලෙස හඳුන්වනවා.
දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගය (Diabetic Nephropathy) යනු කුමක්ද?
වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන රුධිර පිරිසිදු කිරීමේ පෙරහන් පද්ධතියක්. සෑම වකුගඩුවකම කුඩා රුධිර වාහිනී මිලියන ගණනක එකතුවක් වන නෙෆ්රෝන (Nephrons) සහ ග්ලොමරුලස් (Glomerulus) නම් අන්වීක්ෂීය පෙරහන් අඩංගු වෙනවා.
රුධිරයේ සීනි මට්ටම (Glucose) නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවතින විට, මෙම සියුම් රුධිර වාහිනී ක්රමයෙන් හානියට පත්වීම සිදුවනවා. මේනිසා කාලයත් සමඟ වකුගඩු වල පෙරහන් වලට නිසි ලෙස රුධිරය පිරිසිදු කිරීමට නොහැකි වන අතර, ප්රෝටීන් (ඇල්බියුමින්) මුත්රා සමඟ පිටවීමට පටන් ගන්නවා.
මෙම තත්ත්වය මුල් අවධියේදී පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වන නිසා, කාලෝචිත පරීක්ෂණ සිදුකිරීම, රුධිර සීනි සහ රුධිර පීඩනය පාලනය කිරීම මඟින් වකුගඩු හානිවීමේ අවදානම අඩු කර ගැනීම ඉතා වැදගත් . නිසි ප්රතිකාර නොලැබුණහොත්, කාලයත් සමඟ මෙය නිදන්ගත වකුගඩු රෝගය (CKD) දක්වාත්, ඇතැම් අවස්ථාවලදී වකුගඩු අකර්මණ්යතාව දක්වාත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා මෙම තත්වය ගැන ඉතාමත් කල්පනාකරී විය යුතුමයි.
දියවැඩියාව ඔබගේ වකුගඩුවලට හානි කරන ප්රධාන ක්රම 3ක්
- රුධිර නාලවලට හානි වීම සහ ඒවායේ ක්රියාකාරිත්වය වෙනස් වීම..
රුධිරයේ සීනි මට්ටම දිගුකාලයක් ඉහළ මට්ටමක පැවතීම නිසා වකුගඩුවල ඇති ඉතා සියුම් රුධිර නාල ක්රමයෙන් හානි සිදුවීම ආරම්භ වෙනවා. අධික සීනි මට්ටම නිසා ඇතිවන රසායනික වෙනස්කම් සහ ප්රදාහක ක්රියාවලීන් මඟින් රුධිර නාලවල බිත්ති ඝන වීම සහ ඒවායේ සාමාන්ය ක්රියාකාරිත්වය අඩාල වීමත් සිදුවෙන්න පුළුවන්.
මේ ආකාරයෙන් වකුගඩුවලට රුධිරය සපයන නාල සහ පෙරීමේ ඒකක ආශ්රිත රුධිර සංසරණයේ වෙනස්කම් නිසා, වකුගඩුවලට රුධිරය පෙරීමට ඇති පීඩනය මුල් අවධියේදී අසාමාන්ය ලෙස ඉහළ යා හැකිය. මෙය Glomerular hyperfiltration ලෙස හඳුන්වනවා. කාලයත් සමඟ මෙම අධික පීඩනයත් වකුගඩු පෙරහන්වලට තවදුරටත් හානි කිරීමනිසා වකුගඩු වල පෙරීමේ ක්රියාවලිය තවදුරටත් අඩපන වනවා.
ප්රතිඵලය: වකුගඩු ක්රියාකාරිත්වය ක්රමයෙන් අඩුවීමටත්, නිදන්ගත වකුගඩු රෝගය (CKD) වර්ධනය වීමටත් ඉඩ ඇත. - වකුගඩුවල පෙරහන් පටලවලට හානි වීම..
වකුගඩුවල ඇති ග්ලොමරුලයි (Glomeruli) යනු රුධිරය පෙරීම සිදු කරන ඉතා සියුම් කේශනාලිකා ජාලයකි. මේවායේ ඇති පෙරහන් පටල මඟින් අපද්රව්ය සහ අතිරික්ත ද්රව්ය මුත්රා බවට පත් කිරීමට ඉඩ සලසන අතර, ඇල්බියුමින් වැනි වැදගත් ප්රෝටීන රුධිරයේ රඳවා ගැනීමට උපකාරී වේ.
රුධිරයේ සීනි මට්ටම දිගුකාලයක් ඉහළ මට්ටමක පැවතීමෙන් මෙම පෙරහන් පටලවල ව්යුහයට හානි සිදුවිය හැකිය. එමෙන්ම පෙරහන්වල පාදක පටලය ඝන වීම සහ පෙරහන් සෛලවල (විශේෂයෙන් podocytes) ක්රියාකාරිත්වය අඩාල වීම සිදුවිය හැකිය.
එහි ප්රතිඵලයක් ලෙස ඇල්බියුමින් ප්රෝටීනය මුත්රා සමඟ පිටවීමට පටන් ගනී. මෙය ඇල්බියුමිනියුරියා (Albuminuria) ලෙස හැඳින්වේ. රෝගය වර්ධනය වන විට මුත්රා සමඟ ප්රෝටීන් පිටවීම වැඩි විය හැකි අතර, වකුගඩුවල රුධිරය පෙරීමේ හැකියාව ද අඩු විය හැකිය.
ප්රතිඵලය: මුත්රාවල ප්රෝටීන් තිබීම දියවැඩියාව නිසා වකුගඩුවලට හානි සිදුවන බවට පෙන්වන වැදගත් ලක්ෂණයකි. එය හඳුනා ගැනීමට මුත්රා ඇල්බියුමින්/ක්රියේටිනින් අනුපාත පරීක්ෂාව (UACR) වැදගත් වේ. - වකුගඩු පටකවලට ඔක්සිජන් සැපයීම අඩාල වීම සහ පටක කැළැල් ඇති වීම..
වකුගඩු සෛලවලට සාමාන්ය පරිදි ක්රියා කිරීමට ප්රමාණවත් ඔක්සිජන් සහ ශක්තිය අවශ්ය වේ. දියවැඩියාව නිසා කුඩා රුධිර නාලවලට හානි වීම, වකුගඩුවල රුධිර සංසරණයේ වෙනස්කම් ඇති වීම සහ සෛලවල පරිවෘත්තීය ක්රියාවලීන් වෙනස් වීම හේතුවෙන් සමහර වකුගඩු පටකවලට ලැබෙන ඔක්සිජන් ප්රමාණය ප්රමාණවත් නොවිය හැකිය.
මෙම තත්ත්වය Tissue hypoxia ලෙස හැඳින්වේ. එමෙන්ම ඔක්සිකාරක ආතතිය (Oxidative stress) සහ ප්රදාහක ක්රියාවලීන් ද වකුගඩු සෛලවලට හානි කිරීමට දායක වේ.
කාලයත් සමඟ වකුගඩු පටකවල තන්තුමය පටක වැඩි වී කැළැල් ඇති වීම (Fibrosis) සහ ග්ලොමරුලයිවල කැළැල් ඇති වීම (Glomerulosclerosis) සිදුවිය හැකිය. මෙය වකුගඩුවල සාමාන්ය පෙරීමේ ක්රියාකාරිත්වය අඩාල කිරීමට දායක වේ.
ප්රතිඵලය: වකුගඩු පෙරීමේ හැකියාව ක්රමයෙන් අඩුවී, රෝගය දරුණු අවධියකට පත්වුවහොත් වකුගඩු අකර්මණ්යතාව දක්වා වර්ධනය විය හැකිය.

දියවැඩියා වකුගඩු රෝගයේ මුල් අනතුරු ඇඟවීමේ ලක්ෂණ (Early Warning Signs)
දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය ඉතා සෙමින් වර්ධනය විය හැකි තත්වයක්. මෙම රෝගයේ විශේෂත්වයක් වන්නේ මුල් අවධියේදී බොහෝ රෝගීන්ට කිසිදු පැහැදිලි රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි. එබැවින් තමන්ට දියවැඩියාව තිබුණද, ශරීරයට කිසිදු අපහසුතාවයක් නොදැනෙන නිසා වකුගඩු නිරෝගීව පවතින බව සිතීම පසුකාලීනව වැරදි අදහස් වෙන්න පුළුවන්.
ඒනිසා රෝගය වර්ධනය වීමත් සමඟ ඇතැම් ලක්ෂණ මතුවිය හැකිය. එහෙත් මෙම ලක්ෂණ සියල්ලම දියවැඩියා වකුගඩු රෝගයට පමණක් විශේෂිත නොවන බව මතක තබාගත යුතුය.
- මුත්රාවල වෙනස්කම් ඇතිවීම
මුත්රා පෙණ සහිත වීම: මුත්රා සමඟ ඇල්බියුමින් වැනි ප්රෝටීන පිටවන විට ඇතැම් පුද්ගලයන්ගේ මුත්රාවල අසාමාන්ය ලෙස පෙණ ඇති විය හැකිය. මෙය වකුගඩු පෙරහන්වලට හානි සිදුවීමේ එක් ඉඟියක් විය හැකිය. කෙසේ වෙතත්, සෑම විටම මුත්රා පෙණ සහිත වීමෙන් වකුගඩු රෝගයක් ඇති බව අදහස් නොවේ. එය තහවුරු කරගැනීමට මුත්රා ඇල්බියුමින්/ක්රියේටිනින් අනුපාත පරීක්ෂාව (uACR) වැදගත් වේ.
රාත්රියේ නිතර මුත්රා කිරීමට සිදුවීම: රාත්රී කාලයේ නිතර මුත්රා කිරීමට සිදුවීම වකුගඩු ක්රියාකාරිත්වයේ වෙනස්කම් සමඟ සම්බන්ධ විය හැකිය. එසේම රුධිරයේ සීනි මට්ටම අධික වීම, මුත්රා ආසාදන සහ වෙනත් රෝග තත්ත්ව නිසාද මෙම ලක්ෂණය ඇතිවිය හැකිය.
- ශරීරයේ ඉදිමීම (Edema)
වකුගඩුවල ක්රියාකාරිත්වය අඩාල වීම නිසා ශරීරයේ අතිරික්ත ලවණ සහ ජලය රඳවා ගැනීම සිදුවිය හැකිය. මුත්රා සමඟ ප්රෝටීන් විශාල ප්රමාණයක් පිටවීමද ශරීරයේ දියර සමතුලිතතාවයට බලපෑම් කළ හැකිය.
මෙහි ප්රතිඵලයක් ලෙස පහත ප්රදේශවල ඉදිමීමක් දැකිය හැකිය.
ඇස් වටා, විශේෂයෙන් උදෑසන අවදි වූ විට.
පාද සහ වළලුකර ආශ්රිතව.
ඇතැම් අවස්ථාවලදී පාදවල ඉහළ ප්රදේශවල හෝ ශරීරයේ වෙනත් ස්ථානවල.
ඉදිමීම සමඟ හදිසි බර වැඩිවීමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුවහොත් වහාම වෛද්ය උපදෙස් ලබාගත යුතුය.
- අධික රුධිර පීඩනය (Hypertension)
දියවැඩියාව සහ අධික රුධිර පීඩනය යන තත්ත්ව දෙකම වකුගඩුවල ඇති සියුම් රුධිර නාලවලට හානි කළ හැකිය. වකුගඩු හානි වූ විට ශරීරයේ ලවණ හා ජල සමතුලිතතාවය වෙනස් වීමෙන් රුධිර පීඩනය තවදුරටත් ඉහළ යා හැකිය.
මේ අනුව, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය එකිනෙකට බලපාමින් වකුගඩු රෝගය වර්ධනය වීමේ අවදානම වැඩි කළ හැකිය.
රුධිර පීඩනය ඉහළ යාම බොහෝ විට කිසිදු ලක්ෂණයක් නොපෙන්වන බැවින්, නිතිපතා රුධිර පීඩනය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. කලින් පාලනය වී තිබූ රුධිර පීඩනය පාලනය කිරීමට අපහසු වන්නේ නම් වෛද්යවරයාට ඒ පිළිබඳව දැනුම් දෙන්න.
- විඩාව සහ දුර්වලතාවය (Fatigue and Weakness)
වකුගඩු ක්රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩුවන විට ශරීරයේ අපද්රව්ය එකතු වීම, දියර හා ලවණ සමතුලිතතාවයේ වෙනස්කම් සහ රක්තහීනතාවය (Anemia) වැනි තත්ත්ව ඇතිවිය හැකිය.
කෙසේ වෙතත්, මෙම ලක්ෂණ දියවැඩියා පාලනය දුර්වල වීම, නින්ද අඩුවීම, රක්තහීනතාවය සහ වෙනත් රෝග තත්ත්ව නිසාද ඇති විය හැකිය. එබැවින් හේතුව හඳුනා ගැනීම සඳහා වෛද්ය පරීක්ෂාවක් අවශ්ය වේ.

දියවැඩියාව ඇති පුද්ගලයන් වකුගඩු ආරක්ෂා කරගැනීමට කළ යුතු ප්රායෝගික පියවර
දියවැඩියාව තිබීමෙන් අනිවාර්යයෙන්ම වකුගඩු රෝගයක් ඇතිවනවා කියල අපිට කියන්න බැහැ. රුධිර සීනි මට්ටම සහ රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීම, නිවැරදි ආහාර පුරුදු පවත්වා ගැනීම සහ නියමිත වෛද්ය පරීක්ෂණ සිදුකිරීම මඟින් වකුගඩු හානිවීමේ අවදානම අපිට අඩු කරගන්න පුළුවන්.
- රුධිර සීනි මට්ටම නිසි ලෙස පාලනය කරන්න
- රුධිර පීඩනය පාලනය කරන්න
- අවම වශයෙන් නිර්දේශිත කාලසීමාවට අනුව වකුගඩු පරීක්ෂණ සිදුකරගන්න
- වකුගඩුවලට හිතකර ආහාර පුරුදු පවත්වා ගන්න
- ශාරීරික ක්රියාකාරකම් සහ සෞඛ්ය සම්පන්න ශරීර බරක් පවත්වා ගන්න
- වකුගඩුවලට හානි කළ හැකි ඖෂධ පිළිබඳ සැලකිලිමත් වන්න
- දුම්පානයෙන් වළකින්න සහ නියමිත ප්රතිකාර අඛණ්ඩව ලබාගන්න
හොදින් මතක තබාගන්න: රෝග ලක්ෂණ නොමැති වීමෙන් පමණක් ඔබගේ වකුගඩු සෞඛ්යය සම්පන්න හා සාමාන්ය බව තහවුරු කරගන්න බැහැ. ඒ නිසා ඒ පිළිබද පරීක්ෂණ සිදු කිරීම, කල්තියා හඳුනාගැනීම සහ නිසි පාලනය තමයි ඔබගේ වකුගඩු ආරක්ෂාවේ ප්රධාන පියවර කියල හොදින් මතකතබාගත යුතුයි.
kidneyinfolk To educate people on kidney related issues.