
වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රීයයක්. වකුගඩු මගින් තමයි රුධිරයේ ඇති අපද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත ජලය පෙරා මුත්‍රා ලෙස ශරීරයෙන් ඉවත් කිරීම,රුධිර පීඩනය පාලනය කිරීම, රතු රුධිර සෛල නිපදවීමට උපකාරී වීම සහ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය හෝමෝන නිපදවීම වගේ කාර්යයන් සිදුවෙන්නේ.
ඒ නිසා වකුගඩු වලට හානි සිදු වුනාම ඉහත සදහන් කල පෙරීමේ ක්‍රියාවලිය අඩපණ වන අතර, රුධිරය තුළ විෂ ද්‍රව්‍ය රැස්වීමෙන් සමස්ත ශරීරයටම බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්
අපි දැන් බලමු අපේ වකුගඩු රෝගී තත්වයට පත්විය හැකි අවස්තා මොනවද කියල.
තදබල / කාලික වකුගඩු රෝගය (Chronic Kidney Disease – CKD):
මාස හෝ වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය හීන වීම මෙහිදී සිදුවේ. මුල් අවධියේදී පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වන අතර, බොහෝ දෙනෙකුට රෝගය උත්සන්න වන තෙක්ම තමන්ට CKD ඇති බව නොදැන සිටීම විශේෂත්වයකි.
ක්ෂණික වකුගඩු හානිය (Acute Kidney Injury – AKI):
හදිසියේ සිදුවන විජලනය, බරපතල ආසාදන, හෘදයාබාධ හෝ සර්ප දෂ්ටන වැනි හදිසි තත්වයන් නිසා දින කිහිපයක් ඇතුළත වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙහිදී සිදුවේ. නිසි වේලාවට ප්‍රතිකාර ලැබුණහොත් මෙය නැවත යථා තත්වයට පත් කරගත හැක.
බහු-කෝෂික වකුගඩු රෝගය (Polycystic Kidney Disease – PKD):
ජානමය (පාරම්පරික) බලපෑම නිසා වකුගඩු තුළ දියබබුළු (cysts) ඇති වී වකුගඩු විශාල වීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය හීන වීම මෙහිදී සිදුවේ.
ඉහත සඳහන් කල ආකාරයන්ට අමතරව වකුගඩු රෝගී වූ විට එහි විවිධ අවධීන් පහත ආකාරයට විස්තර කරන්න පුළුවන්.
වකුගඩු රෝගයේ ප්‍රධාන අදියර 5 (Stages of CKD)
වකුගඩු රෝගයේ බරපතලකම මනිනු ලබන්නේ eGFR (Estimated Glomerular Filtration Rate) නම් අගය මගිනි:
1 වන අදියර (Stage 1): වකුගඩු හානියක් පැවතුණද eGFR අගය සාමාන්‍ය මට්ටමේ පවතී (90 ට වැඩි).
2 වන අදියර (Stage 2): වකුගඩු ක්‍රියාකාරීත්වයේ සුළු අඩුවීමක් (eGFR 60 – 89).
3 වන අදියර (Stage 3): මධ්‍යස්ථ ලෙස වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවීම (eGFR 30 – 59).
4 වන අදියර (Stage 4): බරපතල ලෙස වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවීම (eGFR 15 – 29).
5 වන අදියර (Stage 5): වකුගඩු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම (eGFR 15 ට අඩු) – මෙහිදී ඩයලිසිස් (Dialysis) හෝ වකුගඩු බද්ධ කිරීමක් (Kidney Transplant) අවශ්‍ය වේ.
ඉතින් මේ විදියට වකුගඩු රෝගී වීමවලක්වා ගන්න නම් ඒ සදහා හේතුවිය හැකි ප්‍රධාන හේතු සාධක ගැනත් අප අවදානය යොමු කල යුතුයි.
වකුගඩු රෝගයට ප්‍රධාන හේතු සහ අවදානම් සාධක
- දියවැඩියාව (Diabetes): රුධිරයේ සීනි මට්ටම පාලනය නොවීම මගින් වකුගඩු වල ඇති සියුම් ලේ නාල (Nephrons) විනාශ වේ.
- අධික රුධිර පීඩනය (High Blood Pressure): රුධිර නාල වලට නිරන්තරයෙන් ලැබෙන තද පීඩනය නිසා වකුගඩු වෙත රුධිරය ගමන් කිරීම අඩාල වේ.
- වේදනා නාශක ඖෂධ අධික ලෙස භාවිතය: NSAIDs කාණ්ඩයේ වේදනා නාශක (උදා: Ibuprofen, Mefenamic Acid) වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව ගැනීම.
- හෘද රෝග: හදවතේ රුධිර පොම්ප කිරීමේ හැකියාව අඩුවීම වකුගඩු වලටද බලපායි.
- පාරම්පරික බලපෑම: පවුලේ අයට වකුගඩු රෝග තිබීම.
- දුම්පානය සහ මත්පැන්: රුධිර නාල හෘදයට මෙන්ම වකුගඩු වලටද හානි කරයි.
අද අපි මේ ලිපියෙන් උත්සහ කරන්නේ වකුගඩු රෝගය ගැන මූලික දැනුමක් ලබාගැනීමටයි. පසුව විවිධ ලිපි මගින් අපි වකුගඩු රෝගය හා ඒ සම්බන්ද කාරණා ගැන සාකච්ඡා කරමු.
අමතක නොකළ යුතු වකුගඩු රෝග ලක්ෂණ
මුල් අවධියේදී රෝග ලක්ෂණ නොමැති වුවද, රෝගය උත්සන්න වන විට පහත ලක්ෂණ මතු වී ආරම්භ වේ.
- ශරීරයේ දියර පිරීම
කකුල්, පතුල්, අත් හෝ මුහුණ ඉදිමීම, පෙනහළු වල දියර පිරීම නිසා හුස්ම ගැනීමේ අමාරුව. - මුත්‍රා රටාවේ වෙනස්කම්
- මුත්‍රා සමඟ පෙණ පිටවීම (ඇල්බියුමින් පිටවීම)
- මුත්‍රා සමඟ ලේ පිටවීම, රාත්‍රී කාලයේ නිතර මුත්‍රා පිටවීම.
- අධික අලසකම සහ නිරන්තර මහන්සිය (රක්තහීනතාවය නිසා), සමේ දැඩි කැසීම, ආහාර අරුචිය.
- කටේ රස වෙනස්වීම
කටට ලෝහමය (Metallic) රසයක් දැනීම හෝ ඇමෝනියා දුගඳක් හැමීම

වකුගඩු රෝගය හඳුනාගන්නා පරීක්ෂණ (Diagnosis)
වකුගඩු රෝගය ඉතා සරල පරීක්ෂණ දෙකකින් හඳුනාගත හැක:
Serum Creatinine (eGFR) රුධිර පරීක්ෂාව: රුධිරයේ ඇති ක්‍රියේටිනින් ප්‍රමාණය අනුව වකුගඩු වල පෙරීමේ හැකියාව මැන බලයි.
Urine Albumin/Creatinine Ratio (UACR) මුත්‍රා පරීක්ෂාව: මුත්‍රා සමඟ ප්‍රෝටීන්/ඇල්බියුමින් පිටවේදැයි පරීක්ෂා කරයි.
වකුගඩු Ultra-sound Scan: වකුගඩු වල ප්‍රමාණය, හැඩය සහ ගල් හෝ බාධා ඇත්දැයි බැලීමට.
වකුගඩු ආරක්ෂා කරගන්නේ කෙසේද? (Prevention & Management)
ලුණු භාවිතය අඩු කරන්න: දිනකට ගන්නා ලුණු ප්‍රමාණය තේ හැන්දකට (ග්‍රෑම් 5) වඩා අඩු කරන්න.
ලෙඩ රෝග පාලනය කරන්න: දියවැඩියාව සහ රුධිර පීඩනය සීමාවන් තුළ පවත්වා ගන්න.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න: දිනකට අවශ්‍ය පමණට ජලය පානය කරන්න (නමුත් දැනටමත් වකුගඩු රෝගය ඇති අය වෛද්‍ය උපදෙස් පරිදි ජලය ගත යුතුය).
නොසැලකිලිමත් ලෙස වේදනා නාශක නොගන්න: නිතර නිතර වේදනා නාශක පෙති ගැනීමෙන් වලකින්න.
දුම්පානයෙන් වළකින්න.
නිතර ව්‍යායාම කරන්න: සක්‍රීය ජීවන රටාවක් පවත්වා ගන්න.
මිතිලායා ගමගේ.
සටහන: මෙම ලිපිය තොරතුරු දැනගැනීම සඳහා පමණක් සකස් කරන ලද්දකි. ඔබට කිසියම් රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම සුදුසුකම් ලත් ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගන්න.
kidneyinfolk To educate people on kidney related issues.