“නිවුමෝනියාව”(pneumonia) කියන්නේ මොකක්ද?
බැක්ටීරියා,වෛරස් හෝ දීලීර ආසාදනයන් මගින් පෙනහළු එකක් හෝ දෙකම ආසාදනයට ලක්වීම නිවුමෝනියා තත්වයේදී සිදුවේ. මේ අතරින් සුලභ වන්නේ බැක්ටීරියා ආසාදන හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්වයන්ය.මෙවැනි ආසාදන වලදී අපගේ පෙනහළු තුල ඇති අල්වියෝලයි (alveoli) ලෙස හදුන්වන වායු මළු වැනි ව්‍යුහයන් ඉදිමීමකට (ප්‍රදාහයකට) ලක්වන අතර ඒවා යම් තරලයකින් හෝ සැරව වලින් පිරී යයි. ඒ හේතුවෙන් රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙයි.
නිවුමෝනියා තත්වයේ රෝග ලක්ෂන මොනවාද?
මෙහිදී ඇති වන රෝග ලක්ෂණ සුළු තත්වයේ සිට ජීවිත තර්ජනයක් ඇති කලහැකි වන දක්වා පරාසයක විය හැකිය.
- කැස්ස සමග ශ්ලේෂ්මල පිටවීම
- උණ,දහඩිය දැමීම හා වෙව්ලීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- පපුව කැක්කුම
ආසාදන තත්වය මත ඇතිවන රෝග ලක්ෂණ
- වෛරස් නිවුමෝනියාව – හතිය වැනි තත්වයක් සමග අධික උණ තත්වයක් ඇති විය හැක.
- බැක්ටීරියා නිවුමෝනියාව – අධික උණ සමග උණ පහව ගිය පසු දහඩිය දැමීම,තොල් නිල්සහ නිය පැහැ වීම, මානසික ඒකාග්‍රතාවය බිදවැටීම වැනි තත්වයන් ඇති විය හැක.
රෝගියාගේ වයසත් සමග ඇති වන රෝග ලක්ෂණ
- කුඩා දරුවන්ට – වමනය,ආහාර හා පාන වර්ග ගැනීමේ අපහසුතාවය
- අවුරුදු 5ට අඩු දරුවන්ට – හුස්ම ගැනීමේ වේගය වැඩිවීම
- වැඩිහිටි පුද්ගලයන්ට – ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය පහල යාම
ආසාදනයේ ස්වභාවය මත නිවුමෝනියාව වර්ග කිරීම
ආසාදනයට හේතුව මත
- බැක්ටීරියා නිවුමෝනියාව – මෙම තත්ව ඇති වන්නේ Streptococcus pneumoniae. Chlamydophila pneumonia සහ Legionella pneumophila වැනි බැක්ටීරියාවන්ගෙන් ආසාදනය වීම හේතුවෙනි.
- වෛරස් නිවුමෝනියාව – ස්වසන මාර්ගයේ ඇති වෛරස් හේතුවෙන් මෙම තත්වයන් ඇති වන අතර සාමාන්‍යයෙන් මෙම ආසාදනයන් ඇති වන්නේ තරුණ වයසේ පසුවන දරුවන්ගේ හා වැඩිහිටි පුද්ගලයන්ගේය. බැක්ටීරියා හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්වයට වඩා බරපතල තත්වය අඩුය.
- මයිකොප්ලාස්මා නියුමෝනියාව – මයිකොප්ලාස්මා ජීවින් ලෙස හදුන්වන්නේ වෛරස් හෝ බැක්ටීරියා නොවන දෙවර්ගයටම පොදු ලක්ෂණ ඇති ජීවින් කොට්ටාසයකි. මේ හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්වයද බැක්ටීරියා ආසාදිත තත්වය තරම් බරපතල නොවේ.
- දීලීරමය නිවුමෝනියාව – බසු තුල ජීවත් වන දිලීර හෝ කුරුල්ලන් වැනි සතුන්ගේ වසුරු වල ඇති දිලීර වර්ග ආඝ්‍රහණය කිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වේ. එලෙසම දීර්ඝකාලීන රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ මෙන්ම ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ටද මේ ආකාරය වැලදීමේ වැඩි අවදානමක් ඇත.
(මෙම අසාදනය ප්‍රතිශක්තිය අඩු රෝගින්ට ඇති වීමේ වැඩි අවදානමක් ඇති බැවින් AIDS වැනි අවස්ථාවන් වලදී එමරෝගීන්ට වැලදීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වයි. )
ආසාදන හේතුවන ස්ථානය මත නියුමෝනියාව වර්ග කිරීම
- රෝහලක ප්‍රතිකාර ගන්නා අවස්ථාවක ඇති වන නියුමෝනියාව – මෙවැනි අවස්ථාවන් වලදී නියුමෝනියාවේ තත්වය බරපතල වන අතර ඊට හේතුවෙන්නේ රෝහල් තුල දී ඇතිවන බැක්ටීරියා ආසාදනයන් බොහෝ අවස්ථවන් වලදී ප්‍රතිජීවක ඖෂධ සදහා ප්‍රතිරෝධයක් දැක්වීමයි.
- රෝහලින් පිටතදී ඇති වන නියුමෝනියාව – රෝහල් හෝ ඒ හා සම්බන්ද ආයතන වලින් පිටත පරිසරයේදී ඇති වන ආසාදන මෙලෙස හදුන්වයි.
නියුමෝනියාව ඇතිවීමට වැඩි අවදානමක් ඇති පිරිස්
- වයස අවුරුදු 2ට අඩු දරුවන්
- වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්
- ගිලීමේ අපහසුතාවයන් ඇති පුද්ගලයන්
- ආඝාතය වැනි තත්වයන් ඇති පුද්ගලයන්
- ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්
- යම් රෝගී තත්වයකට ප්‍රතිකාර වශයෙන් ස්ටෙරොයිඩමය ඖෂධ ලබාගැනීම හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩුකරනු ලැබූ පුද්ගලයන්
- පිළිකාව සදහා ලබාදෙන ඖෂධ මගින් ප්‍රතිශක්තිකරණය අඩුකරනු ලැබූ පුද්ගලයන්
- අධික ලෙස දුම්පානය කරන,මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ලබාගන්නා පුද්ගලයන්
- හෘද රෝග,දියවැඩියාව,හතිය වැනි දීර්ඝකාලීන රෝගි තත්වයන් ඇති පුද්ගලයන්
නියුමෝනියාව හදුනාගන්නේ කෙසේද?
වෛද්‍යවරයාට ඔබට ඇති රෝග ලක්ෂන අනුව හා ඔබගේ පපුුව ආශ්‍රිතව ලබාගත් X-ray පිටපතක් මගින් බට නියුමෝනියා තත්වයක් ඇතිද නැද්ද යන්න පිළිබදව හදුනාගැනීමේ හැකියාව පවතින අතර අවශ්‍ය අවස්ථාවන් වලදී වෙනත් පරීක්ෂණ සදහාද යොමුවීමට සිදුවනු ඇත.
- රුධිර පරීක්ෂණ
- “කෙල ” පරීක්ෂනය
- මුත්‍රා පරීක්ෂණය
- CT ස්කෑන් පරීක්ෂණය
- තරල පරීක්ෂණය ( ඔබගේ පෙහළු වටා ඇති ප්ලූරා කුහරය තුල තරල රැස්වී ඇති බව වෛද්‍යවරයා සැක කරන්නේ නම් පර්ශු හරහා යවන කුඩා කටුවක් මගින් එම තරලයේ සාම්පලක් ගෙන පරික්ෂාවට ලක්කිරීම සිදුකරයි.
- බ්රොන්කොස්කොපි (bronchoscopy) – ස්වසන මාර්ගයට ඇතුල් කරන කුඩු කැමරාවක් මාර්ගයෙන් ස්වසන මාර්ගය පරික්ෂාවට ලක්කරයි.
ඔබගේ රෝගී තත්වය නිෂ්චිතවම දැනගත් පසු අවශ්‍ය කරන ප්‍රතිකාර සදහා වෛද්‍යවරුන් යොමුවන අතර මෙවැනි ආසාදන වලදී නිරන්තරයෙන්ම වෛද්‍ය උපදෙස් පිලිපැදීමට හා අවශ්‍ය ඖෂධ නිවැරදි ලෙස ලබාගැනීමට කටයුතු කිරීම අනිවාර්ය වේ.
kidneyinfolk To educate people on kidney related issues.
