වකුගඩු අක්‍රියතාවයේ අවසාන අදියරට ළඟාවීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව දැනගැනීමට ලැබීම ඕනෑම අයෙකුට දැඩි මානසික පීඩනයක් ගෙනදෙන කරුණක්.
ජීවත්ව සිටින නිරෝගී අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීම (Living Kidney Donation) මගින් හෝ මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මගින් රෝගියාට නැවතත් සාමාන්‍ය, සක්‍රීය ජීවිතයක් ලබාගැනීමට විශාල අත්වැලක් ලැබෙනවා.
ඒ නිසා මේ ලිපිය මගින් අපි මෙහි ක්‍රියාපටිපාටිය නිවැරදිව තේරුම් ගැනීමට උත්සහ කරමු. එමගින් රෝගීන්ට මෙන්ම පරිත්‍යාගශීලීන්ටද මේ අවස්තාවේදී බියෙන් තොරව තීරණ ගැනීමට පුළුවන් වේවි.

ජීවත්ව සිටින අයෙකුගෙන් වකුගඩු ලබාගැනීමේ වැදගත්කම
මියගිය අයෙකුගෙන් (Deceased Donor) ලබාගන්නා වකුගඩු මෙන්ම, ජීවත්ව සිටින අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීමේදී සුවිශේෂී වාසි ගණනාවක් හිමිවේ.
දීර්ඝකාලීන සාර්ථකත්වය: ජීවත්ව සිටින අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසු ඉක්මනින් ක්‍රියාත්මක වීමට හා එය දීර්ඝ කාලයක් නිරෝගීව පැවතීමට වැඩි ඉඩකඩක් ඇත.
ඩයලෙසිස් (Dialysis) සඳහා ගතවන කාලය අඩුවීම: දීර්ඝ කාලයක් පෝලිම්වල සිටීම වෙනුවට සුදුසු පරිත්‍යාගශීලියෙකු හඳුනාගත් වහාම බද්ධ කිරීමේ සැත්කම සැලසුම් කළ හැක.
පූර්ව සූදානම: සැත්කමට පෙර රෝගියාට මෙන්ම පරිත්‍යාගශීලියාටද ශාරීරිකව, මානසිකව සහ මූල්‍යමය වශයෙන් හොඳින් සූදානම් වීමට කාලය ලැබේ.
මියගිය පුද්ගලයෙකුගෙන් වකුගඩුවක් ලබාගෙන බද්ධ කිරීම (Deceased Donor Transplantation)
ජීවත්ව සිටින දායකයෙකු නොමැති අවස්ථාවලදී හෝ ජීවත්ව සිටින අයෙකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමට නොහැකි වන විට, මියගිය පුද්ගලයෙකුගෙන් (විශේෂයෙන් මොළයේ මරණය සිදු වූ / Brain-dead පුද්ගලයෙකුගෙන්) වකුගඩුවක් ලබාගෙන බද්ධ කිරීම සිදු කරනු ලැබේ.
මොළයේ මරණය (Brain Death) යනු කුමක්ද?
වෛද්‍ය විද්‍යාත්මකව මොළයේ සියලුම ක්‍රියාකාරීත්වයන් ස්ථිරවම නතර වීම “මොළයේ මරණය” ලෙස හැඳින්වේ. මෙහිදී හෘද ස්පන්දනය යන්ත්‍ර ආධාරයෙන් කෙටි කාලයකට පවත්වා ගත හැකි වුවත්, පුද්ගලයා නැවත පියවි සිහියට පැමිණීමේ කිසිදු හැකියාවක් නැත. මෙවැනි අවස්ථාවකදී, එම පුද්ගලයාගේ පවුලේ අයගේ කැමැත්ත ඇතිව නිරෝගී අවයව (වකුගඩු, හෘදය, අක්මාව ආදිය) වෙනත් රෝගීන්ට පරිත්‍යාග කළ හැක.
මියගිය අයෙකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමේ ක්‍රියාවලිය:
පොරොත්තු ලේඛනය (Waitlist) සහ ගැලපීම: රෝහල් මගින් පවත්වාගෙන යන ජාතික පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් අතරින්, ලබාගන්නා වකුගඩුවට වඩාත්ම ගැලපෙන (රුධිර සහ පටක ගැලපීම අනුව) රෝගියා තෝරා ගනු ලැබේ.
ක්ෂණික සැත්කම: මියගිය පුද්ගලයාගෙන් වකුගඩුව ලබාගත් වහාම ඉතා කෙටි කාලයක් තුළ (පැය කිහිපයක් ඇතුළත) ලබාගන්නා රෝගියාට බද්ධ කිරීමේ සැත්කම සිදු කළ යුතුය.
මියගිය අයගේ අවයව පරිත්‍යාගයේ ඇති වැදගත්කම:
ජීවිත කිහිපයකට ආලෝකය: එක් මියගිය පුද්ගලයෙකුගෙන් වකුගඩු දෙකක් ලබාගෙන වෙනස් රෝගීන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබේ.
සමාජ සේවයක් වීම: මරණයෙන් පසුව පවා තවත් කෙනෙකුට ජීවිතය තෑගි කිරීම උතුම් මානුෂීය ක්‍රියාවකි.
”ඔබත් මරණයෙන් පසු අවයව පරිත්‍යාග කිරීමට කැමතිද?”
ඔබටත් මරණයෙන් පසු අවයව පරිත්‍යාගශීලියෙකු (Organ Donor) ලෙස ලියාපදිංචි විය හැක. ඒ සඳහා ඔබගේ කැමැත්ත පවුලේ අයට සහ ළඟම හිතවතුන්ට පවසා තැබීම ඉතා වැදගත් වේ.

ගැලපෙන වකුගඩුවක් තෝරාගන්නේ කෙසේද?
සැත්කම සාර්ථකව සිදුකිරීම සඳහා සහ අතුරු ආබාධ අවම කරගැනීමට වෛද්‍යවරුන් විසින් පරීක්ෂණ ගණනාවක් සිදුකරනු ලබයි:
වෛද්‍ය පරීක්ෂණ
රුධිර ගණ පරීක්ෂාව (ABO) – රෝගියාගේ සහ පරිත්‍යාගශීලියාගේ රුධිර ගණ එකිනෙකට ගැලපේදැයි පරීක්ෂා කිරීම.
පටක ගැලපීමේ පරීක්ෂාව (HLA) – බද්ධ කරන වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානම අවම කිරීමට ජානමය ගැලපීම බලයි.
ක්‍රොස්මැචින් (Crossmatching) – පරිත්‍යාගශීලියාගේ පටක වලට එරෙහිව රෝගියාගේ ශරීරයේ ප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂා කිරීම.
සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාව – පරිත්‍යාගශීලියා නිරෝගී වකුගඩු ද්විත්වයකින් යුක්ත, සැත්කමට සුදුසු අයෙකු බව තහවුරු කරගැනීම.
වකුගඩු පරිත්‍යාගශීලියෙකු දැනගත යුතු කරුණු
වකුගඩුවක් පරිත්‍යාග කිරීමෙන් පසු තමන්ගේ සෞඛ්‍යයට කුමක් සිදුවේද යන්න බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රධාන ගැටලුවකි. නමුත් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇති පිරිදි එක් වකුගඩුවක් පමණක් සහිතව අයෙකුට පූර්ණ නිරෝගී ජීවිතයක් ගතකළ හැකිය
විධිමත් වෛද්‍ය පරීක්ෂණ: පරිත්‍යාගශීලියාගේ සෞඛ්‍යයට කිසිදු හානියක් සිදුනොවන බව තහවුරු කරගැනීමට සදහා පරිත්‍යාගශීලියා තෝරාගැනීමේදී පූර්ණ පරීක්ෂාවන් සිදුකෙරේ.
ඉක්මන් සුවය: නූතන ලැපරොස්කොපි (Laparoscopic) සැත්කම් ක්‍රම නිසා පරිත්‍යාගශීලියාට රෝහල් ගතව සිටීමට සිදුවන කාලය අඩු අතර ඉක්මනින් සුවය ලබාගත හැක.
ඉහත සදහන් කර ඇති පරිදි වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ වකුගඩුව ලබාගන්නාට මෙන්ම වකුගඩු දායකයාටත් යෝග්‍යය පරිදි සිදුවන ක්‍රියාවලියක් නිසා මේ සම්බන්දයෙන් අනවශ්‍යය බියක් ඇතිකර ගත යුතු නොවේ.
අපි තවත් ලිපියකින් තවත් සවිස්තරාත්මකව වකුගඩු බද්ධ කිරීම ගැන ඉදිරියේදී දැනගනිමු.
kidneyinfolk To educate people on kidney related issues.