eGFR, Creatinine සහ BUN යනු මොනවාද?”

වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, එහි ඇති සංකීර්ණ ඉංග්‍රීසි වචන සහ ඉලක්කම් දැක බියට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම අගයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම, ඔබේ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ලැබෙන ලොකුම පිටිවහලක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු ඒ ගැන.
වකුගඩු රෝගී තත්ත්වයන් (CKD) හඳුනා ගැනීමට සහ ඒවා පාලනය කිරීමට වෛද්‍යවරුන් බහුලව භාවිත කරන ප්‍රධාන රසායනාගාර පරීක්ෂණ සහ ඒවායේ අර්ථයන් මෙම ලිපියෙන් සරලව පැහැදිලි කරන්න තමයි අපි උත්සහ කරන්නේ.
1. ප්‍රධාන රුධිර පරීක්ෂණ (Blood Tests)
eGFR (Estimated Glomerular Filtration Rate)
එයින් කියැවෙන්නේ කුමක්ද?
ඔබේ වකුගඩු මගින් රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව කොපමණ ප්‍රතිශතයක් තිබේද යන්න eGFR අගයෙන් ප්‍රකාශ වේ. සරලවම කිවහොත් මෙය ඔබේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයේ “ප්‍රතිශතය (Percentage)” ලෙස සැලකිය හැක.
සාමාන්‍ය අගයන්:
90 හෝ ඊට වැඩි: වකුගඩු ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පවතී.
60 ට අඩු (මාස 3 කට වඩා වැඩි කාලයක්): වකුගඩු රෝගී තත්ත්වයක් (CKD) පැවතිය හැක.
15 ට අඩු: වකුගඩු අක්‍රියතාවයේ අවසාන අදියර (Kidney Failure) ලෙස සැලකේ.
Serum Creatinine (ක්‍රියටිනින්)
එයින් කියැවෙන්නේ කුමක්ද?
ක්‍රියටිනින් යනු අපගේ මාංශ පේශි භාවිතයේදී ස්වාභාවිකවම නිපදවෙන අපද්‍රව්‍යයකි. නිරෝගී වකුගඩු මගින් මෙය රුධිරයෙන් ඉවත් කර මුත්‍රා සමග පිට කරයි. වකුගඩු වල පිරිසිදු කිරීමේ හැකියාව අඩු වූ විට, රුධිරයේ ඇති ක්‍රියටිනින් මට්ටම ඉහළ යයි.
මතක තබාගත යුතු දේ:
රුධිරයේ ක්‍රියටිනින් අගය ඉහළ යාම වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වීම පෙන්නුම් කරන සලකුණකි.
BUN (Blood Urea Nitrogen)
එයින් කියැවෙන්නේ කුමක්ද?
අප ගන්නා ආහාරවල ඇති ප්‍රෝටීන් ශරීරයට අවශෝෂණය වීමෙන් පසු ඉතිරිවන යුරියා (Urea) වල ඇති නයිට්‍රජන් ප්‍රමාණය මින් මැන බැලේ.
සලකා බැලිය යුතු කරුණු:
වකුගඩු දුර්වල වූ විට BUN අගය ඉහළ යයි. නමුත් විජලනය (ඇඟේ වතුර අඩු වීම) හෝ අධික ලෙස ප්‍රෝටීන් සහිත ආහාර ගැනීම වැනි වකුගඩු රෝග නොවන හේතු නිසාද BUN අගය තාවකාලිකව ඉහළ යා හැක.
2. මුත්‍රා පරීක්ෂණ (Urine Tests)
uACR (Urine Albumin-to-Creatinine Ratio)
එයින් කියැවෙන්නේ කුමක්ද?
ඇල්බියුමින් (Albumin) යනු රුධිරයේ තිබිය යුතු වැදගත් ප්‍රෝටීනයකි. වකුගඩු වල පිරිසිදු කිරීමේ පෙරහන් (Filters) වලට හානි වූ විට, මෙම ප්‍රෝටීන මුත්‍රා සමග පිටවීමට පටන් ගනී (Microalbuminuria).
වැදගත්කම:
eGFR අගය අඩුවීමටත් පෙර, වකුගඩු වලට සිදු වන මුල්ම හානිය හඳුනා ගැනීමට මුත්‍රා වල ප්‍රෝටීන් පිටවේදැයි බලන මෙම පරීක්ෂණය උපකාරී වේ.
පැය 24 මුත්‍රා පරීක්ෂණය (24-Hour Urine Collection Test)
- එයින් කියැවෙන්නේ කුමක්ද? සාමාන්‍ය මුත්‍රා සාම්පල පරීක්ෂාවකින් දවස පුරාම වකුගඩු වල ක්‍රියාකාරීත්වය නිවැරදිවම මැනබැලීම අපහසු විය හැක. එබැවින් පැය 24ක් පුරා පිටවන මුත්‍රා සියල්ල එක්රැස් කර පරීක්ෂා කිරීමෙන්, දවසක් ඇතුළත වකුගඩු මගින් පිටවන ප්‍රෝටීන් (Protein/Albumin) ප්‍රමාණය, ක්‍රියටිනින් ක්ලියරන්ස් (Creatinine Clearance), සෝඩියම්, සහ පොටෑසියම් වැනි ලවන වර්ගවල නිවැරදිම අගය ලබාගත හැක.
- මෙම පරීක්ෂණය නිවැරදිව සිදු කරන්නේ කෙසේද?
- ආරම්භය: පරීක්ෂණය ආරම්භ කරන දිනයේ උදෑසන අවදි වූ පසු පළමු මුත්‍රා සාම්පලය වැසිකිළියට යවා ඉවත් කරන්න (එය එකතු නොකරන්න). ඒ වේලාව සටහන් කරගන්න (උදා: උදෑසන 7:00).
- එක්රැස් කිරීම: එතැන් සිට ඊළඟ පැය 24 පුරාම (දවල්, රාත්‍රී සහ ඊළඟ දින උදෑසන 7:00 දක්වා) පිටවන සියලුම මුත්‍රා රසායනාගාරයෙන් (Lab) ලබාදුන් විශේෂ බෝතලයට එකතු කරන්න.
- සුරක්ෂිත කිරීම: මුත්‍රා එකතු කරන බෝතලය පරීක්ෂණය අවසන් වන තෙක් සිසිල් ස්ථානයක (නෙමේ නම් ශීතකරණයක/Cooler box එකක) තබන්න.
- අවසන් කිරීම: ඊළඟ දින උදෑසන 7:00 ට පිටවන මුත්‍රා සාම්පලයද බෝතලයට එකතු කර පරීක්ෂණය අවසන් කර වහාම රසායනාගාරයට භාරදෙන්න.
3. වෛද්‍යවරුන් මෙම අගයන් භාවිත කරන්නේ කෙසේද?
වෛද්‍ය නිර්දේශ අනුව එක් වරක් ලබාගන්නා පරීක්ෂණ වාර්තාවකින් පමණක් වකුගඩු රෝගයක් ඇති බවට තීරණය කරනනන අමාරුයි.මොකද විජලනය, ඇතැම් ඖෂධ හෝ තාවකාලික ආසාදන නිසාද මෙම අගයන් වෙනස් වෙන්න පුළුවන්.
ඒසා වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් මාස 3 ක කාලයක් තුළ මෙම පරීක්ෂණ කිහිප වරක් සිදු කරමින් අගයන්ගේ වෙනස්වීම් (Trends) පරීක්ෂා කිරිම සිදුකරනවා.
සටහන: මෙම ලිපිය දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, ඔබේ වෛද්‍ය වාර්තා පිළිබඳ අවසාන තීරණය සහ උපදෙස් ලබාගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් පමණි.

kidneyinfolk To educate people on kidney related issues.